අධික බදු බරින් ජනතාව මිරිකමින් සහ “PSTA” වැනි මර්ධනීය කළු පනත් හරහා පුරවැසි නිදහස දඩයම් කිරීමට සැරසෙන ජාතික ජන බලවේගයේ (මාලිමාවේ) අත්තනෝමතික ගමන නතර කිරීම සඳහා මෙරට ප්‍රධාන ප්‍රජාතන්ත්‍රවාදී බලවේග දෙක වන සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අත්වැල් බැඳගැනීමේ තීරණාත්මක පියවරක් ඊයේ (30) කොළඹදී තැබීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, උපනායක අකිල විරාජ් කාරියවසම් හා උපසභාපති නවීන් දිසානායක යන මහත්වරුන් අතර පැවති මෙම සුහද සාකච්ඡාව, අරාජිකත්වයට ඇද වැටෙමින් පවතින රට බේරාගැනීමේ මංගල සීනුව බව දේශපාලන විචාරකයෝ පවසති.
ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් “දැවැන්ත සන්ධානයක්”
පැය කිහිපයක් පුරා පැවති මෙම සාකච්ඡාවේදී එකඟතාවය පළවී ඇත්තේ, මාලිමා රජය විසින් ක්‍රියාත්මක කරන ජනතා විරෝධී මූල්‍ය ප්‍රතිපත්ති සහ ආපදා කළමනාකරණයේදී පෙන්වන අදූරදර්ශී ක්‍රියාවලියට එරෙහිව පොදු පෙරමුණක් ගොඩනැගීමටයි. මෙහිදී හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අවධාරණය කළේ, රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම සඳහා මෙම පක්ෂ දෙක එක්වීම අත්‍යවශ්‍ය බවත්, එහි නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට හිමිවිය යුතු බවත්ය.එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙම සන්ධානයේ ජ්‍යෙෂ්ඨ උපදේශකත්වය දරමින් සිය පරිණත දේශපාලන අත්දැකීම් රට වෙනුවෙන් ලබාදීමට නියමිත අතර, InfoSriLanka.lk වෙත වාර්තා වන්නේ රුවන් විජයවර්ධන මහතා ඇතුළු මෙම සන්ධානයේ නියෝජ්‍ය නායකත්වය දරමින් සන්ධානයේ ඉදිරි පෙළ මෙහය වීමට යෝජනා වී ඇති බවයි.


