වත්මන් රජයේ තරුණ නියෝජිතයෙකු වන කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා සහ සමගි ජන බලවේගයේ (SJB) ගම්පහ ආසන සංවිධායක, හිටපු පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ මහතා අතර ඇවිලී ගිය දේශපාලන උණුසුම තවත් අලුත් වී තිබේ. කිංග්ස්බරි හෝටලයේදී පැවති සාකච්ඡාවක් සම්බන්ධයෙන් චතුරංග අබේසිංහ මහතා හෙළි නොකළ බව කියන කෝටි 10ක ආයෝජනයක් සහිත “සැඟවුණු ව්‍යාපාරික ගනුදෙනුවක්” පිළිබඳව වරුණ රාජපක්ෂ මහතා බරපතළ චෝදනා එල්ල කරයි.
කෝටි 10ක එතනෝල් ඩීල් එක වසන් කළේ ඇයි?
චතුරංග අබේසිංහ මහතා කිංග්ස්බරි හෝටලයේදී ආයෝජකයන් තිදෙනෙකු හමු වූ බව ප්‍රකාශ කළද, වරුණ රාජපක්ෂ මහතා චෝදනා කරන්නේ, සිව්වන පාර්ශවයක් සහ එතනෝල් සමාගමක් සම්බන්ධ ගනුදෙනුවක් හිතාමතා වසන් කර ඇති බවයි. වරුණ රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන තොරතුරු අනුව, “YG Holdings” නමැති ආයතනයක් සමග එතනෝල් සමාගමක් සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවට ලිඛිත සාක්ෂි පවතී. මෙම ගනුදෙනුව මගින් රුපියල් කෝටි 10ක ආයෝජනයක් කිරීමටත්, එම සමාගමේ යන්ත්‍ර සූත්‍ර අලුත්වැඩියා කිරීමටත්, හිඟ ණය මුදල් ගෙවීමටත් යෝජනා වී ඇත.
සමූපකාර සමිතියකට අයිති ව්‍යාපාරයක් සම්බන්ධයෙන් ඇමති කාර්යාලයේදී සාකච්ඡා නොකර, හෝටලයක ‘ලොබියේදී’ කෝපි කෝප්පයක් පානය කරමින් සාකච්ඡා කළේ ඇයිදැයි වරුණ රාජපක්ෂ මහතා ප්‍රසිද්ධියේ ප්‍රශ්න කරයි.
“හයි ඔක්ටේන්” ජීවන රටාවේ වියදම කොහෙන්ද?
මෙම ගනුදෙනු චෝදනා මැද, චතුරංග අබේසිංහ මහතාගේ පුද්ගලික ජීවන රටාව පිළිබඳව ද වරුණ රාජපක්ෂ මහතා සෘජු ප්‍රශ්න කර ඇත. ඔහු පෙන්වා දෙන්නේ, නියෝජ්‍ය අමාත්‍යවරයා හයි ඔක්ටේන් (High Octane) වැනි අධි සුඛෝපභෝගී ව්‍යායාම් මධ්‍යස්ථානවල (Gyms) සාමාජිකත්වය දරන බවත්, පුහුණුකරුවෙකු සඳහා දිනකට රුපියල් 3,700 ක් වැනි අධික මුදලක් වැය කරන බවත්ය. මෙම අධික වියදම් පියවා ගැනීමට ආදායම ලැබෙන්නේ කෙසේදැයි යන්න ප්‍රසිද්ධියේ විමසා සිටියේ, “වල් පැළ ගලවා මල් පැළ සිටවීමට” පැමිණි තරුණ නායකයන්ගේ සැබෑ ස්වභාවය පිළිබඳව ප්‍රශ්න කරමිනි.
වරුණට නඩුද? චතුරංගට නඩුද?
තමාට නඩු දමන බවට එල්ල වන තර්ජනවලට නොබිය වන බවත්, තව තවත් සාක්ෂි ඉදිරිපත් කිරීමට සූදානම් බවත් වරුණ රාජපක්ෂ මහතා අවධාරණය කළේය. මෙම ගැටලුවට අමතරව, අසාධාරණ ලෙස නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පොරොන්දු කඩ කිරීම නිසා චතුරංග අබේසිංහ මහතාට එරෙහිව නඩු පැවරීමට තවත් පිරිසක් සූදානම් වන බවට තොරතුරු ලැබී ඇති බවද හෙතෙම හෙළි කළේය. අවසානයේදී, “නඩු වැටෙන්නේ වරුණ රාජපක්ෂටද? නැතහොත් චතුරංග අබේසිංහටද?” යන්න කාලයාගේ ඇවෑමෙන් පැහැදිලි වනු ඇතැයි ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයාගේ කන ඇහෙන කතාව
මේ අතර, නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා කියා සිටියේ, තම ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා වන සුනිල් හඳුන්නෙත්ති මහතාට ශ්‍රවණාබාධයක් පවතින බවත්, ඔහු බැටරිවලින් ක්‍රියා කරන ශ්‍රවණාධාරකයක් භාවිතා කරන බවත්ය. අතේ හා කකුලේ ආබාධ ඇතිව සිටියද, කිසිදු බාධාවක් නොසලකා හඳුන්නෙත්ති මහතා කර්මාන්ත අමාත්‍යාංශයේ පරිවර්තනීය යුගයක් වෙනුවෙන් දැවැන්ත කැපවීමක් කරන බව ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහන් කර තිබේ. මෙම සටහන, දේශපාලන හා ක්‍රියාකාරීත්වය තුළ ඇති හැකියාවන් සහ ශක්තීන් පිළිබඳව ඔහු කළ සුවිශේෂී ඇඟවීමක් ලෙස සැලකිය හැකි බවත් එය සෙමින් නමුත් උපක්‍රමිකව කළ කන අත ගෑමක් බවත් විශ්ලේෂකයන්ගේ මතයයි.