සමගි ජන බලවේගය (SJB) තුළ පක්ෂ නායකත්වය වෙනස් කිරීම සම්බන්ධයෙන් පාර්ශ්වයන් අතර සාකච්ඡාවක් ආරම්භ වී ඇති බව වාර්තා වේ. පක්ෂයේ වත්මන් නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඇතැම් ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් ඔවුන් දැඩි නොසතුටක් පළ කරමින් සිටින බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම අර්බුදයට ආසන්නතම හේතුව වී ඇත්තේ කොළඹ මහ නගර සභාවේ බලය ලබා ගැනීම සම්බන්ධයෙන් පක්ෂය අනුගමනය කළ වැඩපිළිවෙළට එල්ල වන විරෝධයයි. මීට අමතරව, පසුගිය ජනාධිපතිවරණයේදී සන්ධානගතව තරග වැදුණේ නම් පරාජය නොවන බවට මෙම පිරිස මතයක් දරන බව වාර්තා වේ. එබැවින්, තවදුරටත් වත්මන් නායකත්වය සමඟ ඉදිරියට යාමක් අපේක්ෂා නොකරන බවත්, නව නායකත්වයක් පත් කිරීමට සාකච්ඡා කරමින් සිටින බවත් මෙම පිරිස පෙන්වා දී තිබේ.
මේ අතර මැතිවරණ හයක් එක දිගට පරාජයට පත්ව ඇති හෙයින් ආසන සංවිධායකවරුන් මාරු කිරීමට පෙර පක්ෂය ආරම්භයේ සිට කටයුතු කළ නිලධාරීන් සහ නායකයන් වහාම වෙනස් කරන්නැයි ආසන සංවිධායකවරුන් පිරිසක් සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරුන් දස දෙනෙකු සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා පෞද්ගලිකවම හමුවී දැඩිව ඉල්ලීමක් කර ඇත.
එසේ වෙනස්කර ජනතා ආකර්ෂණීය පුද්ගලයන් එම තනතුරුවලට පත් කරන්නැයිද ඔවුහු ඉල්ලා සිටිති.
සමගි ජන බලවේගය එක දිගට ජනාධිපතිවරණ දෙකක් මහ මැතිවරණ තුනක් හා පළාත් පාලන මැතිවරණයත් පරාජයට පත්ව ඇති හෙයින් එම මැතිවරණ පරාජයන්ට ආසන සංවිධායකවරුන්ට පමණක් චෝදනා එල්ල කිරීම අසාධාරණ බව පෙන්වාදී ඇති එම නියෝජිතයන් පක්ෂ නිලධාරී මණ්ඩලය කඩිනමින් වෙනස් නොකළහොත් ඉදිරි මැතිවරණද පරාජයට පත්වීම නොවැළැක්විය හැකි බව ප්‍රකාශ කර ඇත.
ඔවුන් පක්ෂ නායකත්වයට මෙසේ දැඩිව ප්‍රකාශ කර ඇත්තේ පක්ෂයේ පරාජයට වගකිවයුතු බව පවසමින් සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරුන් පිරිසක් ඉවත් කිරීමට සූදානම් වූ අවස්ථාවේදීය.
පසුගිය ජනාධිපතිවරණය ජයග්‍රහණය කළේ නම් මහ මැතිවරණයෙන් මීට වඩා ලොකු ආසන ප්‍රමාණයකට ගමන් කිරීමට හැකියාව ලැබෙන බවත් එම ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ඇතුළු සෙසු දේශපාලන පක්ෂ සමග පුළුල් සන්ධානයකට යොමු වූයේ නම් ලොකු ජයග්‍රහණයකට යෑමට අවස්ථාව තිබූ බවද ඔවුන් පෙන්වා දී ඇත.
එසේම ගෝඨාභය රාජපක්ෂ මහතා රට භාර දුන් මුල් අවස්ථාවේදී විපක්ෂ නායකවරයා වශයෙන් භාරගත්තේ නම් එසේ කරන වැඩ කොටස තුළින් යම් නමක් හදා ගැනීමට හැකියාව තිබූ බවත් රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය ජනාධිපතිවරණයේදී ලක්ෂ විස්සක ඡන්ද පදනමකට ගියේ රට බාර ගැනීමෙන් යම් නමක් හදා ගැනීම නිසා බවද සඳහන් කර ඇත. විපක්ෂ නායකවරයාට රට භාර ගැනීමට ආරාධනා කළ අවස්ථාවේදී පක්ෂයේ සිටින ඇතැම් ආර්ථික ඔස්තාර්ලා මේ අවස්ථාවේදී භාර නොගන්නැයි පවසමින් ඔහු අධෛර්යමත් කළ බව පැවසූ ආසන සංවිධායකවරු සහ පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ පක්ෂය ආරම්භයේ සිට මේ දක්වාම කටයුතු කරන නායකයන් සහ නිලධාරීන් වහාම වෙනස් කර නිර්මාණශීලී අදහස් ඇති තරුණ නියෝජිතයන් එම පුටුවලට පත් කළ යුතු බවද පෙන්වාදී ඇත.
සජිත් ප්‍රේමදාස මහතා අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේ මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් මූල්‍ය සහායන් ලබා දීමේ දී විවිධ අක්‍රමිකතා සිදුව ඇති බව වාර්තා වී තිබේ.
එලෙස සිදුව ඇතැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම පිණිස කමිටුවක් පත් කිරීමට 2025-05-17 දින පැවති මධ්‍යම සංස්කෘතික අරමුදලේ 223 වන පාලක මණ්ඩල රැස්වීමේ දී තීරණය කර ඇත.
ඒ අනුව, අදාළ කාර්යය සඳහා විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ජී.එම්.ඩබ්ලිව්. ප්‍රදීප් ජයතිලක මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රි පුද්ගල කමිටුවක් පත් කිරීම පිණිස අගමැතිනිය විසින් අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කොට අනුමැතිය ගෙන තිබේ.