ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ මහජනයා ඉදිරියේ එකිනෙකා විවේචනය කරගත්තද, තිරය පිටුපස ඔවුන් පවත්වන ‘අශිෂ්ට දේශපාලන ගනුදෙනු’ නැවත වරක් ඉන්දියාවේදී නිරුවත් වී තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සමඟ සමගි ජන බලවේගයේ (SJB) නවක මන්ත්‍රීවරුන් පිරිසක් රහසිගතව ඉන්දීය සංචාරයක නිරත වීමත්, එහිදී නාමල් රාජපක්ෂ මහතා තමන් සතු නොවන ‘විපක්ෂ නායක’ ධුරය හොර රහසේ භාවිත කිරීමත් හරහා මුළු රටම ජාත්‍යන්තරය ඉදිරියේ දැඩි අපහසුතාවයට පත්ව ඇත.
මෙම සංචාරය වඩාත් ආන්දෝලනාත්මක වන්නේ ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ පිහිටි පෞද්ගලික විශ්වවිද්‍යාලයක් වන KIIT හි හිමිකරු අච්යුතා සමන්තා (Achyuta Samanta) විසින් නාමල් රාජපක්ෂ මහතාව ශ්‍රී ලංකාවේ ‘විපක්ෂ නායක’ (Leader of Opposition) ලෙස හඳුන්වා දෙමින් සමාජ මාධ්‍ය සටහන් තැබීමත් සමඟය. සැබෑ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙරට සිටියදී, ඔහුගේම පක්ෂයේ මන්ත්‍රීවරුන් වන නීතිඥ චිත්‍රල් ප්‍රනාන්දු, ප්‍රසාද් සිරිවර්ධන, චතුර ගලප්පති සහ චමින්ද්‍රාණි කිරිඇල්ල යන පිරිස නාමල් රාජපක්ෂ අසල ‘බළලුන්’ මෙන් නිහඬව සිටීම හරහා පෙනී යන්නේ සමගි ජන බලවේගය තුළ පවතින දරුණු විනය පිරිහීම සහ රාජපක්ෂවරුන් සමඟ පවතින රහසිගත දේශපාලන සම්බන්ධතාවයයි.
නාමල් රාජපක්ෂ මහතා තමන් දරන මන්ත්‍රී ධුරයට වඩා ඉහළ ව්‍යාජ ප්‍රතිරූපයක් මවාගැනීමට උත්සාහ කිරීම මගින් තහවුරු වන්නේ ‘පොහොට්ටුව’ තවදුරටත් ජනතාව මුළා කරන දේශපාලනයක නිරත වන බවයි. අනෙක් අතට, සිය නායකයාට සහ පක්ෂයට කොකා පෙන්වමින් රාජපක්ෂවරුන්ගේ ‘ගෝලයන්’ ලෙස ඉන්දියාවේ සවාරි යන සජිත්ගේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම සමගි ජන බලවේගයේ අභ්‍යන්තර අර්බුදය තවදුරටත් තීව්‍ර කර ඇත. මේ සම්බන්ධයෙන් විනය පරීක්ෂණ පවත්වන බව පැවසුවද, පක්ෂයේ පාලනය සජිත් ප්‍රේමදාස මහතාගෙන් ගිලිහී ගොස් ඇති බව මෙම සිද්ධියෙන් මැනවින් පැහැදිලි වේ.
මෙම සිද්ධිය හුදු අතපසුවීමක් ලෙස බැහැර කළ නොහැක්කේ, මීට පෙරද අවස්ථා ගණනාවකදී පොදුජන පෙරමුණ සහ සමගි ජන බලවේගයේ ඇතැම් පිරිස් අතර ‘රාත්‍රී දේශපාලන ඩීල්’ පවතින බවට චෝදනා එල්ල වී තිබූ බැවිනි. තමන්ගේම මන්ත්‍රීවරුන් නාමල් රාජපක්ෂ වැනි ප්‍රතිවාදියෙකුගේ ‘පිරිවර’ ලෙස විදේශ සංචාරවල නිරත වීම සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයට එල්ල වූ මරු පහරකි. ජනතාව පද්ධති වෙනසක් ඉල්ලා සිටින මොහොතක, තිරය ඉදිරියේ රංගනයක නිරත වෙමින් තිරය පිටුපස එකට සවාරි යන මෙම දේශපාලඥයන්ගේ සැබෑ ස්වරූපය දැන් රටටම හෙළි වී අවසානය.



