වත්මන් ජාතික ජන බලවේග (NPP) ආණ්ඩුවේ අක්‍රමිකතාවලට එරෙහිව දැඩි සටනක නියැළෙන සමගි ජන බලවේගය (SJB), තම මූලික දේශපාලන මෙහෙයුමෙන්ම බැහැර වෙමින්, තමන් විසින්ම ඇති කර ගත් මාධ්‍යමය අවුල් ජාලයක් හමුවේ දැඩි අපහසුතාවයට පත්ව තිබේ.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ කතාවක් විකෘති කර පළ කිරීම සම්බන්ධයෙන් සජබ පාක්ෂිකයන් රජය යටතේ පාලනය වන ‘දිනමිණ’ පුවත්පතට චෝදනා කළද, එම කතාව මුලින්ම විකෘති කොට පල කර ඇත්තේ සජබයට යට හිතවත් බව කියන ‘මව්රට’ පුවත්පතේ වෙබ් අඩවිය වීම මෙහි ඇති බරපතළම සත්‍යයයි.
මාධ්‍ය කළමනාකරණයේ අසාර්ථකත්වය
මෙම සිදුවීම තුළින් සමගි ජන බලවේගයේ මාධ්‍ය කළමනාකරණයේ ඇති අවුල්සහගත තත්ත්වය සහ වෘත්තීමය අසමගිය නිරාවරණය වන අතරම තම නායකයාගේ කතාවක්, තමන්ට හිතවත් යැයි කියන මාධ්‍ය ජාලයක් තුළින්ම විකෘති වී, අනතුරුව රාජ්‍ය මාධ්‍යය වෙත එම වරද පැටවීමට උත්සාහ කිරීම තුළින් පෙනී යන්නේ, සමගි ජන බලවේගයේ මාධ්‍ය මෙහෙයවන පාර්ශ්වයන් අතර බරපතළ වගකීම් පැහැර හැරීමක් සහ අභ්‍යන්තර ගැටුම් පවතින බවයි.
සජබය යටතේ පාලනය වන්නේ යැයි කියන ‘මව්රට’ පුවත්පත විසින්ම තම නායකයා අපහසුතාවයට පත් කරන ආකාරයේ පුවත් පළ කළ පළමු අවස්ථාව මෙය නොවේ. මෙය එක්කෝ නිරන්තරයෙන් සිදුවන වෘත්තීය අත්වැරදීම් නිසා හෝ, එසේත් නොමැති නම් පක්ෂ නායකත්වය අස්ථාවර කිරීමට කටයුතු කරන අභ්‍යන්තර පාර්ශ්වයන්ගේ ක්‍රියාකාරකමක් බවට දේශපාලන විචාරකයෝ සැක පළ කරති.
තම නායකයාගේ පණිවිඩය විකෘති කරන තමන්ටම හිතවත් මාධ්‍ය මෙහෙයුමක් පාලනය කර ගැනීමට නොහැකි පක්ෂයක්, රටේ පාලනය භාර ගැනීමට සුදුසු ද යන්න පිළිබඳව මෙය ප්‍රබල ප්‍රශ්නයක් මතු කරයි. සජබ විසින් කඩිනමින් මෙම මාධ්‍යමය අවුල නිවැරදි කර, තම නායකයාගේ පණිවිඩය රටට නිවැරදිව ගෙන යාමට කටයුතු කළ යුතු බව දේශපාලන විචාරකයන් වැඩිදුරටත් මත පළකරයි.



