back to top
Saturday, November 8, 2025
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

spot_imgspot_imgspot_imgspot_img

Related News

2028 රටට වෙන දේ සජිත් ඉන්දියාවේ NDTV එකට කියලා!

ඉදිරි වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ මූල්‍ය තත්ත්වය තවදුරටත් අවදානම් සහගත වන බවත්, රට මුහුණ දෙන දැවැන්ත ණය අර්බුදය සමනය කර ගැනීමට ඉන්දියාවේ අඛණ්ඩ සහාය අත්‍යවශ්‍ය වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි. ඉන්දීය මාධ්‍ය ජාලයක් වන NDTV සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කර සිටියේය. මෙහිදී ඔහු පවතින ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්ති සහ ආර්ථික කළමනාකරණය පිළිබඳව වක්‍රව ප්‍රබල විවේචනයක් එල්ල කළේය.

විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ, 2028 වසරේ සිට ණය වාරික ගෙවීම් ඉහළ නැංවීම ආරම්භ වීමත් සමඟම, මුදල් තත්ත්වය අතිශය අවිනිශ්චිත තත්ත්වයකට පත්වන බවයි. එබැවින්, මෙම ආර්ථික උවදුරෙන් ගොඩ ඒමට ඉන්දියාවෙන් ලැබෙන සහයෝගය අතිශයින්ම තීරණාත්මක වන අතර, රටේ අනාගතය ඉන්දියාව සමඟ බැඳී ඇති බවට ඔහු දැඩිව විශ්වාසය පළ කළේය. ඔහු සඳහන් කරන්නේ, ඉන්දීය-ලංකා සබඳතාව යනු රීගන්-තැචර් (ඇමෙරිකා එක්සත් ජනපද – එක්සත් රාජධානිය) සමයේ පැවති සම්බන්ධතාවට සමාන විශේෂ සබඳතාවක් බවයි.

චීන අභියෝගය සහ වෙළෙඳ ගිවිසුම් ගැන NPP ප්‍රතිපත්තිය

ඉන්දීය සාගර කලාපයේ චීනයේ වර්ධනය වන බලපෑම පිළිබඳව නවදිල්ලියේ පවතින උත්සුකයන්ට පිළිතුරු දෙමින් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාවට කිසිදු සැකයක් ඇති කර ගැනීමට අවශ්‍ය නොවන බවයි. එපමණක් නොව, ඉන්දු-පැසිෆික් කලාපයේ සාමය ගොඩනැංවීමේ මූලිකයකු ලෙස ශ්‍රී ලංකාව කටයුතු කිරීමට කැමති බවත්, කලාපීය බලවතුන් අතර පවතින සැකයන් සාකච්ඡා මාර්ගයෙන් සමනය කිරීමට තමන් මැදිහත් වීමට සූදානම් බවත් ඔහු පැවසීය.

තවද, දෙරට අතර පවතින නිදහස් වෙළෙඳ ගිවිසුම (FTA) ද්විපාර්ශ්වික වාසි සැලසෙන ආකාරයට සංවර්ධනය කළ යුතු බවට විපක්ෂ නායකවරයා යෝජනා කළේය. ඉන්දියාවේ බිලියන 1.4 කට අධික වෙළෙඳපොළට ප්‍රවේශ වීම තුළින් ශ්‍රී ලංකාවට විශාල වාසියක් අත්කර ගත හැකි බවත්, එම ගිවිසුම් දෙරටටම තරඟකාරී වාසි ගෙන දෙන අයුරින් නැවත සාකච්ඡා කිරීමේ අවශ්‍යතාවත් ඔහු පැහැදිලි කළේය. පවතින ආණ්ඩුව විදේශ සබඳතා කළමනාකරණය කරන ආකාරය පිළිබඳව ජනතාව තුළ ප්‍රශ්න ඇතිව තිබෙන මොහොතක, විපක්ෂ නායකවරයාගේ මෙම ප්‍රකාශ මඟින් රටේ අනාගතය පිළිබඳව විදේශීය බලවතුන්ගේ විශ්වාසය දිනාගත හැකි විකල්පයක අවශ්‍යතාව අවධාරණය කෙරේ.

එක්ක නොගියාට සජබ මන්ත්‍රීලා ලොකු අවුලක!

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ඉන්දීය නිල සංචාරයට මන්ත්‍රීවරුන් කිසිවක් හෝ සහභාගී කර නොගැනීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් දැඩි නොසතුටට පත්ව සිටින බව වාර්තාවේ.

ඒ සම්බන්ධයෙන් ඔවුන් නායකත්වය දැඩි ලෙස විවේචනය කර ඇතැයිද ආරංචි මාර්ග සඳහන් කළේය.

විපක්ෂනායකවරයා මෙවැනි නිල හමු වලට යෑමේදී අඩු තරමින් ආර්ථිකය සහ විදේශ කටයුතු ඇතුළු විශේෂිත විෂයයන් කෙරෙහි ප්‍රාමාණික දැනුමක් ඇති මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු හෝ සම්බන්ධ කර ගත්තේ නම් එය ඉතා ඵලදායී වනු ඇතැයි පක්ෂයේ බොහෝ දෙනාගේ මතය වී ඇත.

විපක්ෂ නායකවරයාගේ මෙම නිල සංචාරයට සහභාගි වී ඇත්තේ එතුමාගේ හිතවතෙක් වන ව්‍යාපාරික ලක්ෂ්මන් ෆොන්සේකා මහතා සහ එතුමන්ගේ ඥාතියෙකු ලෙස සැලකෙන සහ කෝට්ටේ නාගරික සභිකයෙක් වන චමිත් විජේසුන්දර මහතා පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles