back to top
Monday, October 27, 2025
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

spot_imgspot_imgspot_imgspot_img

Related News

ජගත් ගැන කිව්ව කතාවකට, පොලිස්පතිට උසාවි මදිවට වරප්‍රසාද කමිටුවටත් යන්න වෙයි!

සමගි ජන බලවේගයේ (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා, පොලිස්පතිවරයා විසින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් දැඩි ප්‍රතිචාරයක් දක්වමින්, තමන්ට අපරාධ කල්ලි සමඟ සබඳතා ඇති බව දැනගත්තේ එම මොහොතේදී බව ප්‍රකාශ කර තිබේ. පොලිස්පතිවරයාගේ ප්‍රකාශය මගින් තමන්ගේ ජීවිත තර්ජනයට ලක්ව ඇති බව ඔහු පෙන්වා දෙයි.

පාර්ලිමේන්තුවට කරුණු දැක්වීම සහ ලැයිස්තුවේ 24 වැනි ස්ථානය

මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ, මෙම කාරණය සම්බන්ධයෙන් කථානායකතුමා හරහා පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද කඩවීමක් ලෙස ඉදිරිපත් කළ බවයි. තමන්ට ලැබුණු වාර්තාවකට අනුව, නොයෙකුත් අපරාධකරුවන් ඇතුළත් ලැයිස්තුවක 24 වැනි ස්ථානයේ තමන් සිටින බව ඔහු පෙන්වා දුන්නේය. කෙසේ වෙතත්, එම ලැයිස්තුවේ චෝදනා ඇති කොටසේ තමන් කිසිදු චෝදනාකරුවෙකු ලෙස හුවා දැක්වී නොමැති බව ඔහු අවධාරණය කළේය.

එමෙන්ම, පොලිස්පතිවරයා සඳහන් කර ඇත්තේ තමන්ට ලබා දී ඇති ආරක්ෂාව තාවකාලික බවත්, “වෙඩි කන්න ඉන්න මිනිහා” තමන් වන බැවින් ඕනෑම වෙලාවක එම ආරක්ෂාව ඉවත් කිරීමට හැකි බවත්ය. තමන් කිසිවෙකුට වැඳ නොගන්නා බව ප්‍රකාශ කළ මන්ත්‍රීවරයා, තමාට මෙවැනි දේ සිදු නොවේවායි යන පණිවිඩය දේශපාලන ක්ෂේත්‍රයට ලබා දෙන බව කියා සිටියේය.

නීත්‍යානුකූල මාර්ගය සහ නීතිමය ක්‍රියාමාර්ග

ජගත් විතාන මහතා වැඩිදුරටත් කියා සිටියේ, තමන් කථානායකතුමා හරහා නීත්‍යානුකූලව ආරක්ෂාව ලබා ගත් බැවින්, ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට යම් පසුතැවීමක් හෝ ලැජ්ජාවක් ඇත්දැයි නොදන්නා බවයි. නිවැරදි නීත්‍යානුකූල මාර්ගය අනුගමනය කළ තමන් සමාව ගන්නට යන්නේ නැති බව ඔහු අවධාරණය කළේය.

ඊට අමතරව, පොලිස්පතිවරයා විසින් “ව්‍යාපාර කතාවක්” ද ප්‍රකාශ කර ඇති අතර, එය තමාට කළු පැල්ලමක් එකතු කිරීමට උත්සාහ කිරීමක් බවට මන්ත්‍රීවරයා චෝදනා කළේය. ඒ සඳහා තමන් නීතිමය කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.

මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේ, තමන්ව පාතාල කල්ලි සමඟ සම්බන්ධ කරමින් ගස්ටනයක් ඇති කිරීමට උත්සාහ කරන්නේ, පොලිසියට අනියමින් කළ නොහැකි දේ පාතාල කල්ලිය ලවා කරවීමටදැයි යන්නයි. තමන් කර ඇත්තේ දේශපාලනය පමණක් බවත්, දේශපාලනය කිරීම තම වරදදැයි ඔහු විමසා සිටියේය.

සජබ ප්‍රතිචාරය

මේ අතර ඒ සම්බන්ධයෙන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මාධ්‍ය වෙත කළ ප්‍රකාශය දැඩි ලෙස හෙළා දකිමින් එම පක්ෂය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

පොලිස්පතිවරයාගේ ප්‍රකාශය තුළින් “පැමිණිලිකරු චූදිතයා බවට පත්කිරීමත්, වින්දිතයා අපරාධකරුවෙකු බවට පත්කිරීමේත් උත්සාහයක්” මතු වන බව සමගි ජන බලවේගය අවධාරණය කරයි.

මන්ත්‍රීවරයාට දේශපාලනික නොවන කරුණු කාරණා මත තර්ජන එල්ල වී ඇති බවත්, ඔහු අනීතික ක්‍රියාවකට හෝ පෞද්ගලිකව ඉස්මතු වූ ක්‍රියාවකට සම්බන්ධ වී ඇති බවත් හැඟවෙන ලෙස පොලිස්පතිවරයා වක්‍රෝක්ති ප්‍රකාශ සිදු කිරීම, මහජන සේවාවේ නිරත මන්ත්‍රීවරයෙකුට එල්ල කරන අපහාසාත්මක ප්‍රකාශයක් ලෙස සජබය හෙළා දකී.

පොලිස්පතිවරයාගේ වගකීම වන්නේ අදාළ කරුණු කාරණා කුමක්දැයි නිවැරදිව ප්‍රකාශ කිරීම බවද එම නිවේදනයේ සඳහන් වේ.

වර්තමාන ආණ්ඩුවේ ප්‍රචාරක සැලැස්මට අනුගතව පොලිස්පතිවරයා ප්‍රකාශ නිකුත් කිරීම, ස්වාධීන පොලීසියක පැවැත්ම පවා ප්‍රශ්න කරන බව සමගි ජන බලවේගය පෙන්වා දෙයි.

“ස්වාධීන පොලිස් කොමිසමේ බලතල පොලිස්පතිවරයාට පවරාදෙමින් පොලිස්පතිවරයාට සිතන ආකාරයට ප්‍රකාශ නිකුත් කරමින් සිදු කරනු ලබන මෙම ක්‍රියාවලියන් තුළ රට මර්දනකාරී පොලිස් රාජ්‍යයක පැවැත්මක අඳුරු සෙවනැල්ල අපි දකිමු” යනුවෙන් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම මාධ්‍ය සංදර්ශනයක් බවට පත් කරන පොලිස් මෙහෙයුම් තුළින් සැබෑ ප්‍රශ්න යටපත් කිරීමට දරන පටු දේශපාලන න්‍යාය පත්‍රයක කොටසක් ලෙස ජගත් විතාන මන්ත්‍රීවරයාගේ ආරක්ෂාව පිළිබඳ තීරණය ලඝු කිරීමට එරෙහිව ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවද සමගි ජන බලවේගය අවධාරණය කර තිබේ.

මෙම අනතුර සියලු ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයන් තුළ ක්‍රියා කරන පාර්ශවයන්ගේ අවධානය යොමු විය යුතු කරුණක් බවද එම නිවේදනය මගින් පෙන්වා දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles