ආණ්ඩුව ගෙන යන සංවර්ධන ව්‍යාපෘති සහ ජාතික ජන බලවේගයේ (NPP) මන්ත්‍රීවරුන්ගේ අවංකභාවය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ (SJB) නියෝජ්‍ය නීති ලේකම් නීතිඥ තාරක නානායක්කාර විසින් රූපවාහිනී වැඩසටහනකදී දැඩි විවේචනයක් එල්ල කර තිබේ.
අදාළ වැඩසටහනේ විපක්ෂය නියෝජනය කරමින් අදහස් දැක්වූ ඔහු, ප්‍රධාන වශයෙන් කරුණු දෙකක් සම්බන්ධයෙන් NPP මන්ත්‍රීවරුන් අභියෝගයට ලක් කළේය.
- ‘මාලිමා’ මන්ත්‍රීවරයෙකුගේ වත්කම් බැරකම් ප්‍රකාශනය අස්ථානගතයි
අවංකභාවය පිළිබඳව NPP මන්ත්‍රීවරුන් නිරන්තරයෙන් කතා කළද, සාකච්ඡාවේ සිටි මන්ත්‍රීවරයෙකුගේ වත්කම් බැරකම් ප්‍රකාශය, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) වෙබ් අඩවියේ නොමැති බවට විපක්ෂයේ මන්ත්‍රීවරයා සෘජුවම චෝදනා කළේය.
“ඔබතුමාගේ වත්කම් බැරකම් ප්‍රකාශය මේ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වෙබ්සයිට් එකේ තියෙනවද? වෙබ්සයිට් එකේ නැහැ. එක්කෝ ඔබතුමා වෙන නමකින් බාර දීලා ඇති. වෙබ්සයිට් එකේ නැහැ,” යනුවෙන් ඔහු විවෘතව ප්‍රකාශ කළේය.
මෙම ප්‍රකාශනය වෙබ් අඩවියේ නොමැතිවීම සම්බන්ධයෙන් සොයා බලා නිවැරදි කිරීමකට යොමු වන ලෙසටද ඔහු අදාළ මන්ත්‍රීවරයාට දැනුම් දුන්නේය.
- ‘මහා සංවර්ධනය’ ලිං කැපීමට සීමා වෙලාද?
රජයේ සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් අදහස් දැක්වූ විපක්ෂයේ නියෝජිතයා, රජය “වැඩ සංදර්ශන” පමණක් සිදු කරන බවට චෝදනා කළේය. විශාල වැඩ වෙනුවට සරල අලුත්වැඩියා කටයුතු සහ කුඩා ව්‍යාපෘති විවෘත කිරීම මහා සංවර්ධනය ලෙස පෙන්වීමට උත්සාහ කරන බව ඔහු කීවේය.
පිටකොටුව බස් නැවතුම්පොළ අලුත්වැඩියාව සඳහා රුපියල් මිලියන 425ක ව්‍යාපෘතියක් ආරම්භ කර එය ලොකු සංදර්ශනයක් බවට පත් කළ බව ඔහු විවේචනය කළේය.
මීට පෙර මෛත්‍රීපාල සිරිසේනට පවා මොරගහකන්ද වැනි ව්‍යාපෘති කළ හැකි වූ බව සිහිපත් කළ ඔහු, වත්මන් ආණ්ඩුවේ ‘ලොකුම වැඩේ’ බස් නැවතුම්පොළක් අලුත්වැඩියා කිරීමදැයි ප්‍රශ්න කළේය.
එමෙන්ම, මන්ත්‍රීවරුන් සම්බන්ධ වී මාතර වෙරළ උද්‍යානය වැනි සරල අලුත්වැඩියාවන් විවෘත කරන බවත්, තවත් මන්ත්‍රීවරයෙකු පොදු ළිඳක් විවෘත කර ඇති බවත් සඳහන් කරමින්, මෙම කුඩා ව්‍යාපෘති මිනිසුන් ආණ්ඩුවෙන් බලාපොරොත්තු වූ දේ නොවන බව අවධාරණය කළේය.
අවසාන වශයෙන්, විවේචන පෙන්වා දෙනුයේ ආණ්ඩුව හට තම වැරදි හදාගෙන නිසි මඟට එන ලෙස පෙන්වා දීමට මිසක්, බලයට පැමිණීමට විපක්ෂයට හදිස්සියක් නොමැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.