අනුරාධපුර මහාධිකරණයෙන් වරදකරු කළ තවත් අධිකරණ කිහිපයක අධි චෝදනා විස්සක් පවතින අයකුට ජනාධිපතිවරයා වෙසක් පොහොය දිනයේදී ජනාධිපති පොදු සමාවදී ඇතැයි සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසීය.
ජනාධිපති පොදු සමාව ලබාදෙන ක්‍රමවේදය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු ගණනාවකින්ම පෙන්වාදී ඇතත් ඒවායෙන් පාඩම් උගෙන ගෙන නැතැයිද ඔහු සඳහන් කළේය.
මන්ත්‍රීවරයා මෙසේ පැවසුවේ මාවෙයි සේනාධිරාජා මහතා ඇතුළු අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිවු දෙනකු වෙනුවෙන් පැවැති ශෝක යෝජනා පිළිබඳ විවාදයේදීය.
මේ සමග සමාජ මාධ්‍යය තුළ ඇති වූ උණුසුම් කතාබහ හේතුවෙන් ඊයේ පස්වරුවේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරන ලදී.
එම නිවේදනය පහත දැක්වේ.
වෙසක් සමාව යටතේ රැදවියකු නිදහස් කිරීම පිළිබද මාධ්‍ය හා සමාජ මාධ්‍ය මඟින් පලවු පුවත සම්බන්ධවයි.
අනුරාධපුර ගරු මහාධිකරණය මගින් විජේකෝන් මුදියන්සේලාගේ අතුල තිලකරත්න (ඩබ්.එමි. අතුල තිලකරත්න) යන සිරකරු බන්ධනාගර ගත කර ඇත්තේ ලංකා දණ්ඩනීතී සංග්‍රහයේ 386 වගන්තිය උල්ලංගනය කිරීම හේතුවෙන් වන අතර ගෙවීමට නියම කර ඇති මුදල වන රුපියල් ලක්ෂ 20ක වන්දි මුදල දඩයක් ලෙස ගෙවන ලෙස ගරු අධිකරණය මඟින් නියමකර ඇති අතර එම දඩය නොගෙවන්නේ නම් මාස 06ක බරපතල වැඩ සහිතව සිර දඩුවම් නියම කර ඇත.
2025.05.12වන දිනට යෙදී තිබූ වෙසක් පොහොය දිනය නිමිතිකොට ගෙන 2025.05.05 දින වන විට බන්ධනාගාරගතව සිටින රැදවියන් සදහා වෙසක් පොදු සමාව පිරිනැමීම කොන්දේසි වලට යටත්වය.
ඒ අනුව මෙම සිරකරු ද ගෙවීමට තිබෙන දඩ මුදල් අහෝසි වීම මත නිදහස් රිමාන්ඩ් වී ඇත. මීට අමතරව පැවති නඩුවට ඇප අත්සන් කල බවට ලද නියෝගය අනුව ගරු මහාධිකරණයට ඉදිරිපත් කර මුදා හැරිණි.
මෙම සමාව කිසිසේත් උක්ත පුද්ගලයා කේන්ද්‍රකර සිදු කරන ලද්දක් නොවන අතර පොදුවේ සිරකරුවන් උදෙසා පිරිනැමූවක් පමණි.
ගාමිණී බී. දිසානායක
බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක)
ඊයේ දිනයේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව මෙවැනි මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබූ පසුබිමක අද දිනයේ ජනාධිපති මාධ්‍ය අංශය බන්ධනාගාර දෙපාර්තමේන්තුව මතු කරන ලද කරුණු වලට මුළුමනින්ම පරස්පර නිවේදනයක් මාධ්‍ය වෙත යොමු කර ඇත.
එම නිවේදනය පහත දැක්වෙයි,
වෙසක් උත්සවය වෙනුවෙන් සිරකරුවන්ට සමාව දීම – 2025
2025 වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි ඩබ්.එච්. අතුල තිලකරත්න නැමති අයෙක් නිදහස් කර ඇති බවටත්, එම සිදුවීම පිටුපස බරපතළ අක්‍රමිකතාවක් ඇති බවටත් පළ වෙමින් තිබෙන පුවත් පිළිබඳ ජනාධිපති කාර්යාලයේ අවධානය යොමුව ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ 34 (1) වගන්තියට අනුව සිරකරුවන්ට පොදු සමාවක් ලබා දීමට ජනාධිපතිවරයාට බලය හිමිව තිබේ. ඒ අනුව බන්ධනාගාර අධිකාරිවරුන් විසින් තෝරා ගන්නා සිරකරුවන්ගේ නාම ලේඛනයක් අධිකරණ අමාත්‍යාංශය වෙත යොමු කරනු ලබයි. එම ලේඛනය අධිකරණ අමාත්‍යාංශය මගින් පරීක්ෂා කර බලා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමු කරනු ලබන අතර ඒ අනුව ජනාධිපතිවරයාගේ අනුමැතිය මත එම සිරකරුවන්ට පොදු සමාව හිමි වේ.
කෙසේ වුවද ඉහත සිදුවීමට අදාළව 2025-05-06 දාතමින් හා 06/01/යෝජිත /ජ.පො.සමා/වාර්:/05-12/2025 අංකයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් විසින් ජනාධිපති කාර්යාලය වෙත එවන ලද පොදු සමාව හිමි විය යුතු සිරකරු නාම ලේඛනය නම් 388කින් සමන්විත අතර එම ලේඛනයේ කිසිදු තැනක අනුරාධපුර බන්ධනාගාරයේ මුදල් වංචාවකට අදාළව සිරගතව සිටි පුද්ගලයාගේ නම ඇතුළත් නොවේ. එනම් සමාව දීම සඳහා ජනාධිපතිවරයා විසින් අනුමැතිය දෙන ලද නම් 388ට එම පුද්ගලයා කිසිසේත් ඇතුළත්ව නැත.
මේ සිදුවීම පිළිබඳව විශේෂ පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ඊයේ (06) දින “ජනාධිපති සමාව යටතේ අනුමැතිය නොලැබූ සිරකරුවෙකු නිදහස් කිරීම සම්බන්ධව” යන ශීර්ෂය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් කරනු ලැබ තිබේ.
මේ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමටත්, වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමටත් ඉදිරියේදී කටයුතු කෙරෙනු ඇත.