ජනතා මතය වෙනුවෙන් පෙනී සිටීමට දේශපාලන පක්ෂවලට වගකීමක් හා යුතුකමක් ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා පවසා සිටියේය. පක්ෂවල ප්‍රතිපත්තිවලට හානි නොවන ලෙස ජනතා අභිලාෂයන් ඉටුකර ගන්නේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා සිදුවෙමින් පවතින බව ඔහු කියා සිටියේය.
අද (18) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. පළාත් පාලන ඡන්ද විමසීමේදී ජනතාව පැහැදිලි ප්‍රතිචාරයක් ලබා දී ඇති බවත් එම මතය වෙනුවෙන් පෙනී සිටීම දේශපාලන පක්ෂවල වගකීම බවත් ඔහු පැවසීය.
සමගි ජන බලවේගය ඇතුළු සියලු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් ප්‍රතිපත්තිවලට හානියක් නොවන ලෙස ජනතා අභිලාෂයන් ඉටුකරන ආකාරය සොයා බලන බවත් ඔහු සඳහන් කළේය.
මේ අතර මාධ්‍ය හමුවක් අමතමින් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේ ජනතාව ස්වාධීන කණ්ඩායම්වලට ඡන්දය ලබා දුන්නේ ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව ඔවුන් ඡන්දය ඉල්ලූ නිසා බවත් එබැවින් කිසිදු තැනක ජනතා විමුක්ති පෙරමුණට සහාය දීමට ස්වාධීන කණ්ඩායම්වලට අයිතියක් නොමැති බවයි.