අග්‍රාමාත්‍යවරිය කුරුණෑගල පොල්ගොල්ල දේවපාල විද්‍යාලයේ 30 වන සංවත්සර සැමරුම අමතමින් ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාවේ වටිනාම සම්පත මානව සම්පත වන අතර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් එම සම්පතෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට බලාපොරොත්තු වන බවයි.
අධ්‍යාපනයට ප්‍රමුඛත්වය දීම නිසා රට දුප්පත් වුවද, මානව සංවර්ධනය අතින් ඉහළ මට්ටමක සිටීමට හැකි වූ බවත්, මානව සම්පත දියුණු කිරීම සඳහා අධ්‍යාපනය දියුණු කළ යුතු බවත් ඇය අවධාරණය කළාය.
රට තුළ හොඳ හෝ නරක පාසල්, ප්‍රසිද්ධ හෝ අප්‍රසිද්ධ පාසල් ලෙස වෙනසක් නොමැති බවත්, සියලුම දරුවන්ට හොඳ පාසලක් උරුම කර දීම සැමගේ වගකීමක් බවත් අගමැතිනිය පැවසුවාය.
සාමූහිකත්වය, අන්‍යයන් කෙරෙහි කරුණාව වැනි ගුණධර්ම වලින් පිරිපුන් සමාජයක් බිහි කිරීම සඳහා අධ්‍යාපනය තවදුරටත් ප්‍රතිසංස්කරණය කළ යුතු බවත්, රට බාර ගැනීමට වර්තමාන පරම්පරාවට වඩා දක්ෂ පිරිසක් බිහි කළ හැකි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමට රජය බලාපොරොත්තු වන බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.
මෙම අවස්ථාවට ස්වදේශ කටයුතු පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය චන්දන අබේරත්න, කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශණ, කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න, වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස කුමාරසිරි වර්ණසූරිය යන මහත්වරුන්, සම්භාවනීය අමුත්තන්, ගුරුවරුන් හා පාසල් සිසුන් සහභාගී විය.
දේශපාලනඥයන් පාසල් උත්සවවලට සහභාගී වීම තහනම් කරන නියෝගයක් පනවා නැති බවත්, පාසල් පද්ධතිය දේශපාලනීකරණයෙන් වැළකී සිටීම සියලු මන්ත්‍රීවරුන්ගේ වගකීමක් බවත් මීට සුළු කාලයකට පෙර අග්‍රාමාත්‍යවරිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.
පාසල් උත්සවවලට දේශපාලනඥයන් සහභාගී වීම තහනම් කර ඇති බවට මාධ්‍ය වාර්තා පළ වීමත් සමඟ මන්ත්‍රීවරයෙකු විසින් මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය මෙම අදහස් පළ කළාය. එවැනි නීතියක් පනවා නැති බවත්, පාසල් පද්ධතිය දේශපාලනීකරණයෙන් වැළකී සිටීමට සියලු දෙනා වග බලා ගත යුතු බවට පමණක් තමන් ප්‍රකාශ කළ බවත් අගමැතිනිය පැහැදිලි කළාය.
එහෙත් මීට පෙර අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකදී මහජන නියෝජිතයින් පාසල් උත්සවවලට සහභාගී කර ගැනීම නතර කරන ලෙස අග්‍රාමාත්‍යවරිය උපදෙස් දුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.