අභියාචනාධිකරණයට සහ අභියාචනාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂි මහේන්ද්‍රන් මහතාට අපහාස වන ආකාරයේ අසත්‍ය පුවත් ප්‍රචාරය කළ සමාජ මාධ්‍ය ගිණුම් හයක තොරතුරු ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අන්තර්ජාල ආරක්ෂණ සහ බුද්ධි ඒකකයට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (28) අවසර ලබා දී තිබේ.
අභියාචනාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂි මහේන්ද්‍රන් මහතා විසින් සිදුකරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන සඳහා එම සමාජ මාධ්‍ය ජාල වෙත ප්‍රශ්න නමයක් යොමු කර ඊට අදාළ පිළිතුරු ලබා ගැනීමට අවසර ලබා දෙන ලෙස එම බුද්ධි ඒකකය කළ ඉල්ලීමක් සලකා බලා අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.
රට තුළ දැඩි ලෙස කතාබහට ලක්වූ ජෝසප් පරරාජසිංහම් මන්ත්‍රීවරයා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව පිල්ලෙයාන් නැමැත්තාට විරුද්ධව පැවරූ නඩුවකින් පිල්ලෙයාන් නිදහස් කර ඇති බවට සඳහන් කරමින් අභියාචනාධිකරණයට සහ තමාට අපහාස වන ආකාරයට අසත්‍ය තොරතුරු එම සමාජ මාධ්‍ය ජාල ගිණුම්වල පළ කර ඇති බවත්, ඒ සඳහා තමාගේ රාජකාරී නිල ඇඳුම් සහිත ඡායාරූප පවා එහි පළ කර ඇති බවත් විනිසුරුවරයා තම පැමිණිල්ල මගින් පෙන්වා දී තිබේ.
එහිදී විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ පැවසුවේ ප්‍රශ්නගත නඩු කටයුත්ත කිසිදු දිනක තමා ඉදිරියේ කැඳවා නඩු කෘත්‍යයක් ලෙස විභාග කර නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් අභියාචනාධිකරණ රෙජිස්ට්‍රාර්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලිඛිතව දැනුම් දී ඇති බවත් විනිසුරුවරයා තම පැමිණිල්ලෙන් පෙන්වා දී ඇති බවයි.
එම සිද්ධියට අමතරව තමාගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධයෙන් ද එම සමාජ මාධ්‍ය ජාල හරහා අසත්‍ය තොරතුරු පළ කර ඇති බැවින් ඒ පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදු කරන ලෙස අභියාචනාධිකරණ විනිසුරුවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇති බව විමර්ශන නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්හ.
පැමිණිලිකාර අභියාචනාධිකරණ විනිසුරුවරයා විසින් බුද්ධි ඒකකය වෙත කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලට අනුව, එම සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පළ කර තිබූ අසත්‍ය පුවත් නිසා සමස්ත අධිකරණ පද්ධතියම හෑල්ලුවට ලක් කරමින් ජනතාව තුළ අධිකරණය කෙරෙහි ඇති විශ්වාසය පළුදු කිරීමට උත්සාහ දරා ඇති බවක් පෙනෙන්නට ඇති බව ද විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ පෙන්වා දුන්හ.
1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වගන්තිය ප්‍රකාරව ලැබී ඇති බලතල අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව බුද්ධි ඒකකය අධිකරණය හමුවේ පැවසීය.