වසර දහසයකට පසු සිදුකරන දළදා දැක්ම අද දිනයේ ආරම්භ වීමට නියමිතව තිබේ. එහි ආරම්භය අද දහවල් 12.30ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ද සහභාගීත්වයෙන් සිදු කෙරෙයි.
අද දිනයේ මහජන ප්‍රදර්ශනය සඳහා දළදා වහන්සේ විවෘත වන්නේ පස්වරු තුනයි තිහේ සිට පස්වරු පහ දක්වා පැය දෙකක කාලයකි.
ඉන් අනතුරුව හෙට (19) දින සිට දින පතා දහවල් දොළහ සිට පස්වරු පහ දක්වා එම අවස්ථාව උදාවෙයි.
දළදා දැක්ම සඳහා අවම වශයෙන් ලක්ෂ විස්සක ජනතාවක් පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වෙයි.
දළදා වන්දනාව සඳහා කිසිදු අවස්ථාවක VIPහෝ VVIP ලෙස ප්‍රභූවරුන් සඳහා විශේෂ පෝලිමක් නොමැති බව මහනුවර සහ මාතලේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මහතා පැවසීය.
බැතිමතුන්ගේ ආරක්ෂාව හා රථවාහන කළමනාකරණය පිළිබඳ පොලිසියේ විශේෂ මාධ්‍ය හමුවකදී ඔහු පැවසුයේ දළදා වන්දනාවේදී සියයට 98කම ප්‍රමුඛත්වය ලැබෙන්නේ බැතිමතුන්ට බවයි.
නියෝජ්‍ය පොලිස්පතිවරයා එසේ පැවසුව ද අද දිනයේ පැය තුනක කාලයක් ප්‍රභූන් සඳහා වෙන් කර තිබෙන අතර ආණ්ඩුවේ ප්‍රබලයන්, ස්වාමින් වහන්සේලාගේ සීමිත පිරිසක් සහ විදෙස් තානාපතිවරුන් වැනි ප්‍රභූවරුන් ඊට ඇතුලත්ය. නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසන අන්දමට 2%ක් ප්‍රභූන්ට වෙන් වන්නේ නම් අසාන්න වශයෙන් 40,000ක් පමණ ප්‍රභූ පිරිසකට දළදා දැක්ම සඳහා අවස්ථාව හිමිවනු ඇත.
මේ අතර සිරි දළදා වන්දනාවේ පෝලිම් කෙළවර බැතිමතුන්ට පහසුවෙන් බලා ගැනීම සඳහා විශේෂ ලින්කුවක් හඳුන්වා දී තිබේ.
සිරි දළදා වන්දනාව සඳහා එන බැතිමතුන්ට පෝලිම් තුනකින් දළදා මාලිගයට ප්‍රවේශ වීමට පහසුකම් සලසා ඇති අතර මෙම ලින්කුව මගින් අදාල පෝලිම් වල කෙළවර ඇති තැන දැන ගැනීමට පහසුකම් සලසා තිබේ.
එම ලින්කුව මෙසේය.
https://daladadekma.police.lk/roads
මේ අතර “සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ජනතාව නොමඟ යවන ව්‍යාජ ආරාධනා පත්‍රයක් ප්‍රචාරය වෙමින් පවතී.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ නමින් ව්‍යාජ ලෙස නිර්මාණය කර ඇති මෙම ආරාධනා පත්‍රය රැගෙන “සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගි වීම සඳහා මහනුවර ජනාධිපති මන්දිරය වෙත පැමිණෙන ලෙස එහි සඳහන් කර තිබේ.
“සිරි දළදා වන්දනාව” වෙනුවෙන් මේ ආකාරයේ කිසිදු විශේෂ ආරාධනා පත්‍රයක් කිසිවෙකුටත් නිකුත් කර නොමැත.
