Monday, April 7, 2025
spot_imgspot_imgspot_img

Top 5 This Week

spot_img

Related News

රාජ්‍ය ආයතන කිහිපයක් වැසීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය!

රාජ්‍ය සේවා සැපයීම ශක්තිමත් කිරීම සහ අකාර්යක්ෂමතා ආමන්ත්‍රණය කිරීමේ අරමුණින් වාණිජ නොවන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

මෙම නිර්දේශ අතරට රාජ්‍ය ආයතන ඈවර කිරීම, රජයේ මැදිහත්වීම අවසන් කිරීම සහ රාජ්‍ය ආයතන ඒකාබද්ධ කිරීම ඇතුළත් වේ. ඒ අනුව, අමාත්‍යාංශ හයකට අයත් රාජ්‍ය ආයතන 12ක් වසා දැමීමට නියමිත අතර, ගාලු උරුම පදනම, ජාතික සාගර කටයුතු කමිටු ලේකම් කාර්යාලය සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ඇතුළු ආයතන ගණනාවක් මෙලෙස වසා දැමීමට නියමිතයි. ඊට අමතරව මහවැලි අධිකාරිය සහ කජු සංස්ථාව ද වසා දැමීමට නියමිත බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, රූපවාහිනී සංස්ථාව සහ ස්වාධීන රූපවාහිනී ජාලය එකම කළමනාකාරිත්වයක් යටතට ගෙන ඒම, ශ්‍රී ලංකා තේ මණ්ඩලය සහ කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය ඒකාබද්ධ කිරීම, පොල් වගා කිරීමේ මණ්ඩලය, පොල් සංවර්ධන අධිකාරිය සහ තල් සංවර්ධන මණ්ඩලය ඒකාබද්ධ කිරීම ඇතුළු ඒකාබද්ධ කිරීම් ගණනාවක් ද මෙම කමිටුව විසින් යෝජනා කර තිබේ.

එමෙන්ම, සමාලෝචනයට ලක් කළ රාජ්‍ය ආයතන අතුරින් ඇතැම් ආයතන කාර්යක්ෂමව ක්‍රියාත්මක වන බවත් ඒවා එලෙසම පවත්වා ගත යුතු බවත් කමිටුව නිර්දේශ කර ඇති අතර, ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාව ඇතුළු තවත් රාජ්‍ය ආයතන ගණනාවක් පෞද්ගලික හවුල්කාරිත්වයක් යටතේ පවත්වාගෙන යා යුතු බවට ද නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles