
මෙරට පවතින ගෑස් හිඟයට සැබෑ හේතුව ආණ්ඩුව විසින් ප්‍රමිතියෙන් තොර ප්‍රසම්පාදන ක්‍රියාවලියක් හරහා ගෑස් සැපයුම කුඩා ඇමරිකානු සමාගමකට පැවරීම බව ජන අරගල සන්ධානයේ විධායක සභික පුබුදු ජයගොඩ මහතා පවසයි.
පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ ගෑස් හිඟය පිළිබඳව රජය ඉදිරිපත් කරන තර්ක පදනම් විරහිත බවයි.
ලාෆ්ස් ගෑස් හිඟය නිසා ලිත්‍රෝ ගෑස් සඳහා ඉල්ලුම වැඩි වීම හෝ ජනතාව “පැනික් බයින්” හෙවත් බියෙන් ගෑස් රැස් කිරීම නිසා මෙම හිඟය ඇති වූ බවට රජය පවසන කරුණු ඔහු ප්‍රතික්ෂේප කළේය.
- “ගෑස් කියන්නේ ෂොපින් බෑග්වල හෝ පෝර උරවල රැස් කළ හැකි දෙයක් නෙමෙයි. සිලින්ඩරය අවසන් නොවී නැවත ගෑස් ලබාගත නොහැකි නිසා ගෑස් රැස් කිරීම ප්‍රායෝගික නැහැ. මේ වගේ කතා කීම ජනතාව විහිළුවකට ලක් කිරීමක්,” යැයි ජයගොඩ මහතා පැවසීය.
මීට පෙර ඕමාන් සමාගමක් මගින් සිදු කළ ගෑස් සැපයුම, වත්මන් රජය බලයට පත්වීමෙන් පසු ඇමෙරිකානු එක්සත් ජනපදයේ ලියාපදිංචි කුඩා සමාගමකට පවරා ඇති බව ඔහු හෙළි කළේය. එම සමාගමේ ඇති තාක්ෂණික දුර්වලතා පිළිබඳව ඔහු මෙලෙස අදහස් දැක්වීය:
මෙරට මාසික ගෑස් අවශ්‍යතාව සපුරාලීමට අවම වශයෙන් නැව් හතරක් අවශ්‍ය වුවද, නව සමාගම සතුව ඇත්තේ නැව් දෙකක් පමණි.
මාසයකට නැව් හතරක් අවශ්‍ය රටක සැපයුම් ටෙන්ඩරය, නැව් දෙකක් පමණක් ඇති සමාගමකට ලබාදීමේදී තාක්ෂණික නිර්ණායක සලකා බැලුවේ දැයි ඔහු ප්‍රශ්න කරයි.
සැපයුම් ගැටලුව විසඳීමට උත්සාහ කරමින්, වෙනත් නැවක් කුලියට ගත හැකි දැයි බලන ලෙස ආණ්ඩුව අදාළ සමාගමට දන්වා ඇති බවද ඔහු අනාවරණය කළේය.
අඛණ්ඩ සැපයුමක් සහතික කළ නොහැකි සමාගමකට ටෙන්ඩරය ලබා දීම පිටුපස කිසියම් දූෂණයක් හෝ දේශපාලන බලපෑමක් පවතින්නේ දැයි වහාම විමර්ශනයක් කළ යුතු බව ජයගොඩ මහතා අවධාරණය කළේය.
වැරදි සිදුවී ඇත්නම් ඒවා පිළිගැනීම දේශපාලන සංස්කෘතියේ යහපත් ලක්ෂණයක් බවත්, මේ පිටුපස සිටින දේශපාලඥයන් සහ නිලධාරීන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හරහා විධිමත් පරීක්ෂණයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියේය. මෙවැනි අක්‍රමිකතා නිවැරදි නොකරන්නේ නම් ගෑස් පමණක් නොව ගල් අඟුරු හෝ සහල් සම්බන්ධයෙන් පවතින අර්බුද ද කිසිදා අවසන් නොවන බව ඔහු පෙන්වා දුන්නේය.


