රටේ දූෂණය තුරන් කරන බවට පාරම්බාමින් බලයට පත් වත්මන් මාලිමා ආණ්ඩුවේ ඉහළම පුටුවක් වන කථානායක ධුරය දූෂණ චෝදනා හමුවේ දැඩි අර්බුදයකට ලක්ව තිබේ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සිය නිල බලය අනිසි ලෙස භාවිතා කරමින් රජයේ මුදල් සහ දේපළ අවභාවිත කරන බවට චෝදනා කරමින්, වැඩ තහනමට ලක්ව සිටින පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් ජී.කේ.ඒ. චමින්ද කුමාර කුලරත්න මහතා අද (02) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පිටු 7ක දීර්ඝ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. මෙම පැමිණිල්ල මඟින් මාලිමා පාලනයේ “යහපත් පාලන” රංගනය පිටුපස සැඟවුණු නින්දිත දූෂණ නාටකය අකුරෙන් අකුර හෙළි කර තිබේ.
කථානායකවරයාට එරෙහිව එල්ල වී ඇති ප්‍රධානතම චෝදනාව වන්නේ රුපියල් ලක්ෂ විස්සකට (2,000,000/-) ආසන්න රජයේ මුදල් සෘජුවම අවභාවිත කිරීමයි. තමාට හිමි නිල වාහන සීමාව ඉක්මවා යමින් WP NC 4923 දරන වෑන් රථය මාස හයකට අධික කාලයක් අනීතිකව පෞද්ගලික පරිහරණයට යොදා ගැනීමත්, ඒ සඳහා අතිමහත් ඉන්ධන ප්‍රමාණයක් රජයේ මුදලින් ලබා ගැනීමත් මෙහිදී කැපී පෙනේ. වඩාත්ම පිළිකුල් සහගත කරුණ වන්නේ, කථානායක ධුරයට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ද ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන උල්ලංඝනය කරමින් පොලොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු ලෙස අමතර ඉන්ධන දීමනා ලබා ගැනීමයි. පිරිසිදු පාලනයක් ගැන කතා කරන ආණ්ඩුවක කථානායකවරයා මෙලෙස ‘දෙපැත්තකින් කමින්’ රජයේ මුදල් ගිල දැමීම ජනතාවගේ දැඩි පිළිකුලට ලක්ව ඇත.
මීට අමතරව, කථානායකවරයා සිය නිල නිවසට අමතරව කොළඹ 04, ලොරිස් පටුමගෙහි පිහිටි තවත් රජයේ නිල නිවසක් කිසිදු අනුමැතියකින් තොරව සිය නමට වෙන් කරවාගෙන භාවිතා කරන බවට ද චෝදනා එල්ල වී තිබේ. මෙම දූෂණ වසන් කිරීම සඳහා ඔහු තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත පවා උල්ලංඝනය කරමින්, සිවිල් ක්‍රියාකාරීන් ඉල්ලා සිටින තොරතුරු ලබා නොදෙන ලෙස නිලධාරීන්ට නියෝග කර ඇත. තමාගේ දූෂණ හෙළිවන විට ඒවා වසන් කිරීමට බලය භාවිතා කිරීම මඟින් පෙනී යන්නේ වත්මන් පාලනය ද පැරණි දූෂිත ක්‍රමවේදයටම අනුගත වී ඇති බවයි. කථානායකවරයාගේ මෙම අත්තනෝමතික ක්‍රියා හෙළි කිරීමට උත්සාහ කළ උසස් නිලධාරීන් පළිගැනීම්වලට ලක් කරමින් ඔවුන්ගේ වැඩ තහනම් කිරීමට කටයුතු කිරීම හරහා මාලිමා ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී වෙස්මුහුණ සම්පූර්ණයෙන්ම ගැලවී ගොස් ඇත.
මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙසත්, තොරතුරු හෙළි කරන්නෙකු ලෙස තමාට ‘Whistleblower Protection’ නීතිමය රැකවරණය සලසා දෙන ලෙසත් කුලරත්න මහතා ඉල්ලා සිටියි. රටේ නීතිය සම්පාදනය කරන උත්තරීතර ආයතනයේ ප්‍රධානියාම මෙලෙස දූෂණ මඩගොහොරුවක ගිලී සිටීම වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තරය ඉදිරියේ පවා දැඩි අපහසුතාවයට පත් කරන්නකි.









