හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව දියත් කර ඇති දේශපාලන පළිගැනීමේ නාටකය අද (28) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී දැඩි විවේචනයට ලක් විය. රජයේ මුදල් අවභාවිත කළ බවට නඟන චෝදනා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට අපොහොසත් වී ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතාගේ දෝෂදර්ශනයට හේතු විය.
විමර්ශනයේ අසාර්ථකත්වය සහ අධිකරණයේ විවේචනය
හිටපු ජනාධිපතිවරයාගේ ලන්ඩන් සංචාරයට අදාළ ආරාධනා පත්‍රය පිළිබඳව එංගලන්තයේ අදාළ විශ්වවිද්‍යාලයෙන් විමසන ලෙස අධිකරණය මීට පෙර නියෝග කර තිබුණද, විමර්ශන නිලධාරීන් මෙතෙක් එම පියවර ගෙන නොමැති බව මෙහිදී හෙළි විය. ඒ වෙනුවට ඔවුන් එංගලන්තයේ සංචාරය කරමින් පරීක්ෂණ සිදුකළ ද අදාළ ආයතනයෙන් කරුණු විමසා නොමැති වීම විමර්ශනයේ පවතින දුර්වලතාව සහ දේශපාලන වුවමනාව මනාව පිළිබිඹු කරන්නකි.
“අන්තර්ජාලයෙන් පහසුවෙන් කළ හැකිව තිබියදීත්, එංගලන්තයට ගොස් පරීක්ෂණ සිදුකර තිබුණ ද අදාළ විශ්වවිද්‍යාලයට ගොස් ප්‍රකාශයක් ලබා නොගැනීම ගැටලු සහගතයි.” – මහේස්ත්‍රාත්තුමා විසින් විවෘත අධිකරණයේදී කරන ලද ප්‍රකාශය.
රාජ්‍ය සේවය බිල්ලට දීම සහ ‘සමන් ඒකනායක’ බන්ධනාගාර ගත කිරීම
මෙම නඩුකරයේ වඩාත්ම කණගාටුදායක තත්ත්වය වන්නේ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාගේ රාජකාරි කටයුතු සඳහා සහාය වීම ලේකම්වරයෙකුගේ වගකීමකි. රජයේ රුපියලක් හෝ තම පුද්ගලික පරිහරණයට ගෙන නොමැති, වැය වාර්තාවලට අත්සන් පවා තබා නොමැති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මෙලෙස සිරගත කිරීම තුළින් වත්මන් ආණ්ඩුව මුළු මහත් රාජ්‍ය සේවයටම බරපතළ අනතුරු ඇඟවීමක් කර ඇත. ඉදිරියේදී කිසිදු රාජ්‍ය නිලධාරියෙකුට නිදහසේ රාජකාරි කිරීමට නොහැකි වන පරිදි, ‘පොදු 35’ වව්චර් අත්සන් කිරීම පවා සිරගෙට යන මඟක් බවට පත්කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටී.
රනිල්ගේ නිර්දෝෂීභාවයට සාක්ෂි
ආණ්ඩුව කොතරම් මඩ ගැසීමට උත්සාහ කළ ද, රනිල් වික්‍රමසිංහ මහතාගේ ලන්ඩන් ගමන පූර්ණ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සංචාරයක් බව තහවුරු කරන සාක්ෂි රැසක් දැනටමත් අනාවරණය වී ඇත.
- අදාළ උත්සවයේ නිල ආරාධනා පත්‍රය.
- දිවා භෝජන සංග්‍රහයේ සමරු කාඩ්පත සහ මෙනු පත.
- බ්‍රිතාන්‍යයේ මෙට්‍රොපොලිටන් පොලිසියේ වාහන ආරක්ෂාව ලබාදුන් වාර්තා.
මෙම සියලු ලේඛන විදේශ අමාත්‍යාංශය සතුව තිබියදීත්, හිටපු ජනාධිපතිවරයා සිරගත කිරීමේ අරමුණින් පමණක් ආණ්ඩුව මෙම නඩුකරය ඇදගෙන යන බව පැහැදිලිය.
නීතිපති අංශයේ අත්තනෝමතික හැසිරීම
අද අධිකරණයේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සහ විත්තිය වෙනුවෙන් පෙනී සිටි තිලක් මාරපන මහතා අතර ඇති වූ සංවාදය ද මහත් ආන්දෝලනයකට තුඩු දුන්නේය. තමා නීතිපති බව දිලීප පීරිස් මහතා කළ ප්‍රකාශය අධිකරණයේ පවා හාස්‍යයට ලක් වූයේ, මීට පෙර පැවති ‘ඉයන් වික්‍රමනායක’ හෝ ‘ලෝරන්ස් මාෆියාව’ වැනි ක්‍රියාමාර්ග සිහිගන්වමිනි.
නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවට ‘සමාජ මාධ්‍ය’ හරහා වීරයන් වීමට උත්සාහ කරන ආණ්ඩුවේ මෙම වැඩපිළිවෙළ අවසානයේදී රටේ පරිපාලන ව්‍යුහය සම්පූර්ණයෙන්ම කඩා වැටීමට හේතු වනු ඇත. දේශපාලන දඩයම් මුවාවෙන් අත්දැකීම් බහුල නිලධාරීන් දඩයම් කිරීමේ ආදිනව ඉදිරි මාස කිහිපය තුළ මුළු රටටම අත්විඳීමට සිදුවනු නොඅනුමානය.


