ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේග රජය විසින් හඳුන්වා දීමට උත්සාහ කරන නව “රාජ්‍ය ආරක්ෂක (ප්‍රති ත්‍රස්ත) පනත් කෙටුම්පත” (PSTA) හරහා රට තුළ මර්ධනීය පාලනයක් ස්ථාපිත කිරීමට උත්සාහ කරන බවට දරුණු විවේචන එල්ල වෙමින් පවතී. “දිනන දකුණ” සාමූහිකය පෙන්වා දෙන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ මුවාවෙන් රජය විසින් හඳුන්වා දෙන මෙම පනත “දෙපැත්ත කැපෙන ආයුධයක්” බඳු අතිශය අවදානම්කාරී, මර්ධනීය (Draconian) නීති පද්ධතියක් බවයි. 1979 සිට විවිධ ආණ්ඩු යටතේ පැවති PTA, CTA සහ ATA වැනි මර්ධනීය නීති පද්ධතීන්ට එරෙහිව හඬ නැගූ ජනතා විමුක්ති පෙරමුණම, බලයට පත්වූ පසු එවැනිම පටු නීතිමය ව්‍යුහයක් ගෙන ඒම දෛවෝපගත විරෝධාභාසයක් (Paradox) ලෙස එම සංවිධානය හඳුන්වා දෙයි.
මෙම නව පනත් කෙටුම්පත හරහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තියේ මූලික හරය සහ නීතියේ ආධිපත්‍යය (Rule of Law) සම්පූර්ණයෙන්ම උල්ලංඝනය වන බව නීති විශාරදයෝ පෙන්වා දෙති. නව PSTA පනත මගින් “ත්‍රස්තවාදය” යන්න නිර්වචනය කර ඇත්තේ ස්වාධීන රාජ්‍යයකට එරෙහි ක්‍රියාවලට වඩා දේශපාලන රජයට එරෙහිව සිදුවන විරෝධතාවලට දඬුවම් කළ හැකි පුළුල් අර්ථයකිනි. මෙමගින් ආණ්ඩුවේ වැරදි විවේචනය කරන පුරවැසියන්, වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සහ මාධ්‍යවේදීන් ඕනෑම මොහොතක ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගසා අත්අඩංගුවට ගැනීමේ භයානක ඉඩකඩක් විවර වේ. මෙය නීතිය මගින් මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරනවා වෙනුවට, දඬුවමට ඇති බිය මත පුරවැසියා පාලනය කරන ම්ලේච්ඡ ක්‍රමයකි.
විශේෂයෙන්ම මෙම පනත් කෙටුම්පත මගින් අධිකරණයේ ස්වාධීනත්වය සහ බලතල වෙන්කිරීමේ මූලධර්මය (Separation of Powers) බරපතළ ලෙස හෑල්ලුවට ලක් කර ඇත. වරදක් සම්බන්ධයෙන් තීරණය කිරීමේ බලය ස්වාධීන මහේස්ත්‍රාත්වරයෙකුගෙන් ඉවත් කර, විධායකය නියෝජනය කරන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලබා දීම හරහා යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය දේශපාලනීකරණය වී තිබේ. නිර්දෝෂී බවේ පූර්ව නිගමනය (Presumption of Innocence) වෙනුවට, චුදිතයා වරදකරුවෙකු ලෙස පූර්ව නිගමනය කරමින් වරෙන්තු රහිත සෝදිසි කිරීම්, බැංකු සහ ඩිජිටල් දත්ත පරීක්ෂා කිරීම් හරහා පුරවැසියාගේ පුද්ගලික නිදහස සම්පූර්ණයෙන්ම අහිමි කර ඇත. නිවැරදි පුද්ගලයන් දහස් ගණනක් මෙවැනි නීති යටතේ සිරගත වීමේ අවදානමක් පවතින බව “දිනන දකුණ” සාමූහිකය අවධාරණය කරයි.
ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන පවා පෙන්වා දෙන්නේ ලංකාව වැනි රටවල් මෙවැනි මර්ධනීය නීති යොදා ගන්නේ ජනතා පීඩනය මැඩපැවැත්වීමට බවයි. අනුර කුමාර දිසානායක මහතාගේ රජය මෙම කෙටුම්පත වහාම හකුලාගත යුතු අතර, ඒ වෙනුවට පුරවැසි දෘෂ්ටිකෝණයෙන් යුත් නව පනතක් සඳහා පුළුල් මහජන කතිකාවක් ආරම්භ කළ යුතු බවට බලපෑම් එල්ල වේ. 21 වන සියවසේ ත්‍රස්තවාදය පිටුදැකීමට 20 වන සියවසේ මර්ධනීය නීති ආකෘති භාවිතා කිරීමෙන් තහවුරු වන්නේ රජයේ ඇති පාලනය පිළිබඳ නොහැකියාව සහ ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි ඇති බිය බව විචාරකයෝ පවසති. මෙම “කළු පනත” සම්මත වුවහොත්, එය මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයේ මළගම වනු ඇති බවට ජනතාව අනතුරු අඟවති.


