back to top
Friday, November 7, 2025
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

spot_imgspot_imgspot_imgspot_img

Related News

රාජ්‍ය සේවයේ වැටුප් ඉහළට? : ජනප්‍රිය අයවැය යෝජනා නිසා විපතක් අත ලඟද?

2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (07) පස්වරු 1.30 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, එහි අඩංගු ‘ජනප්‍රිය’ සහන පැකේජය රටේ ණය බර සහ බදු බර කළමනාකරණය කිරීමේ හැකියාව පිළිබඳව විචාරකයන් අතර බරපතළ සැක සංකා මතු කර තිබේ.

රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග උපුටා දක්වමින් වාර්තා වන්නේ, මෙවර අයවැයෙන් මාණ්ඩලික නිලධාරීන් ඇතුළු රජයේ සියලුම සේවකයන්ට සියයට තිහක වැටුප් වැඩි කිරීමක් ලබා දීමටත්, සියලුම විශ්‍රාමිකයන් 2019 විශ්‍රාම වසරට අන්තර් ග්‍රහණය කිරීමටත් යෝජනා කර ඇති බවයි. මෙම සහන සඳහා පමණක් රුපියල් කෝටි 13,000 ක අමතර ප්‍රතිපාදනයක් වෙන් කිරීමට නියමිතය. එසේම, ලබන 2027 වසරේදී තවත් සියයට තිහක වැටුප් වැඩිවීමක් ලබාදීමටද යෝජනා කිරීම, දේශපාලන වාසි තකා සිදු කරන අතිශය අභිලාෂකාමී සහ යථාර්ථවාදී නොවන පොරොන්දුවක් බවට විචාරකයෝ චෝදනා කරති.

මෙම ඇති විශාල වියදම් පියවා ගැනීම සඳහා ඉදිරි මුදල් වර්ෂයේදී රුපියල් කෝටි 65,000 ක දැවැන්ත ආදායමක් අපේක්ෂා කරන බව සඳහන් වීමත් සමඟ, මෙම අතිවිශාල ආදායම් ඉලක්කය සාක්ෂාත් කර ගැනීමට සාමාන්‍ය ජනතාව මත පැනවෙන වක්‍ර හා සෘජු බදු තවදුරටත් ඉහළ යනු ඇතැයි භීතියක් මතු වී තිබේ. සහන දීමෙන් රජය උත්සාහ කරන්නේ බදු වැඩිවීම්වල බර සඟවා ගැනීමට බවට ඇතැම් දේශපාලන විශ්ලේෂකයෝ මත පළ කරති.

මීට අමතරව, මෙවර අයවැයෙන් වාහන සඳහා බදු ඉහළ නැංවීමක් නොකළද, පාවිච්චි කරන ලද වාහන ගෙන්වීම සඳහා වූ යෝජනාව ඉවත් කර ඇතැයි පැවසීම සාමාන්‍ය පාරිභෝගිකයාට දැඩි ලෙස බලපාන තීරණයකි. මින් පැහැදිලි වන්නේ, මෝටර් රථ සඳහා බදු වැඩි නොකළත්, මධ්‍යම පාන්තික ජනතාවට දැරිය හැකි මිලකට පාවිච්චි කළ වාහනයක් මිලදී ගැනීමේ අවස්ථාව අහිමි කරමින් වක්‍ර ලෙස ආනයන සීමා කිරීමක් සිදු කර ඇති බවයි.

අඩු ආදායම්ලාභීන්ට අස්වැසුම ප්‍රතිලාභ ලබාදීම සඳහා රුපියල් කෝටි 24,000ක මුදලක් වෙන් කර තිබීම සහ අපනයන දිරිගැන්වීම සඳහා විශේෂ සහන යෝජනා ඉදිරිපත් කිරීම යහපත් වුවද, මෙම සියලු යෝජනා රටේ සමස්ත ණය බරට බලපාන ආකාරය පිළිබඳව රජය නිශ්චිතව තොරතුරු හෙළි කර නැතැයි චෝදනා එල්ල වේ.

මෙම අයවැය යෝජනාවල දෙවැනිවර කියවීමේ විවාදය නොවැම්බර් 8 වැනිදා සිට දෙසැම්බර් 5 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර, විපක්ෂය පවසන්නේ රටේ ආර්ථිකය විනාශ කරන මෙම මූල්‍ය සැලැස්ම පිළිබඳව තවදුරටත් පුළුල් විවාදයක් ඇති කළ යුතු බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles