ගෝලීය ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන මූඩිස් (Moody’s) මෑතකදී නිකුත් කළ වාර්තාවකට අනුව, ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය බොහෝ දුරට නිවැරදි මඟක ගමන් කරමින් තිබුණද, ඊට අභියෝග එල්ල කරන ප්‍රධාන අවදානම් කිහිපයක් පවතී.
මූඩිස් ආයතනය පෙන්වා දෙන්නේ, රටේ ඉහළ ණය බර, මූල්‍ය අවකාශයේ සීමිත බව සහ අඛණ්ඩව විදේශ මූල්‍ය ආධාර මත යැපීමට සිදුවීම මෙම ආර්ථික ප්‍රගතියට බලපාන ප්‍රධාන අවදානම් සාධක ලෙසයි.
කෙසේ වෙතත්, මූල්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම, සංචාරක කර්මාන්තයේ ශක්තිමත් ආදායම් සහ විදේශ ප්‍රේෂණවල වර්ධනය හේතුවෙන් ආර්ථිකය යළි නඟා සිටුවීමේ ගමනට සැලකිය යුතු තල්ලුවක් ලැබී ඇති බව මූඩිස් ආයතනය සිය වාර්තාවේ සඳහන් කරයි. ඔවුන් ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම පිළිබඳ සිදු කළ වරින් වර සමාලෝචනයකින් පසුව මෙම අදහස් පළ කර තිබේ.
2022 වසරේ ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසු ණය ප්‍රතිව්‍යුහගත කිරීම් මාලාවක් සමඟින් රජයේ මුදල් කළමනාකරණයේ (ද්‍රවශීලතාවයේ) පීඩනය යම් තරමකට ලිහිල් වී ඇතත්, ජාත්‍යන්තර ණය ලබා ගැනීමේ හැකියාව තවමත් දුර්වල මට්ටමක පවතින බව ද මූඩිස් පෙන්වා දෙයි.
ආර්ථික වර්ධනය මන්දගාමී වේ යැයි අනාවැකි
මූඩිස් වාර්තාවට අනුව, ශ්‍රී ලංකාව පසුගිය වසරේ සියයට 5 ක ආර්ථික වර්ධන වේගයක් වාර්තා කළ අතර, මෙම වසරේ මුල් මාස හය තුළදී එය සියයට 4.8 ක් විය.
නමුත්, ඉදිරි කාලය තුළ මෙම ආර්ථික වර්ධනය යම්කිසි මන්දගාමී තත්ත්වයකට පත්වනු ඇතැයි පුරෝකථනය කරන මූඩිස් ආයතනය, සමස්තයක් ලෙස මෙම වසර අවසානය වන විට සියයට 4.5 ක වර්ධනයක් අපේක්ෂා කරන බව පවසයි. තවද, සමාජ වියදම් ඉහළ යෑම සමඟ පාරිභෝගික ඉල්ලුම ද වර්ධනය වනු ඇතැයි ඔවුන් අපේක්ෂා කරයි.