රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න මහතා ඇප මත මුදාහරින ලෙස කුරුණෑගල මහාධිකරණ විනිසුරු ටිකිරි ජයතිලක මහතා (14) නියෝග කළේය.
හිටපු නාවික හමුදාපතිවරයා අත්අඩංගුවට ගැනීමේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) කටයුතු කර ඇති ආකාරය විනිසුරුවරයා විසින් දැඩි ලෙස විවේචනයට ලක් කළේය.
ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ, සාක්ෂි නොමැති අවස්ථාවකදී සැකකරුවකුට එරෙහිව කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව අපරාධ නඩුවිධාන සංග්‍රහයේ 116 වගන්තියේ පැහැදිලිව දක්වා ඇති බවයි. වසර 20කට වැඩි පළපුරුද්දක් ඇති නිලධාරීන් විමර්ශන අංශයක ස්ථානාධිපති වැනි ජ්‍යෙෂ්ඨ තනතුරුවලට පත් කිරීමෙන් බලාපොරොත්තු වන්නේ එම විමර්ශන නීත්‍යනුකූල තත්ත්වයන් තුළ සිදු කිරීම බව විනිසුරුවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම, සැකකරු සම්බන්ධයෙන් සාක්ෂි නොමැති අවස්ථාවකදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි නඩු තීන්දු ගණනාවක් තිබෙන බවත්, මෙම නඩුවේදී ද එලෙස කටයුතු කළ යුතුව තිබුණු බවත් මහාධිකරණ විනිසුරුවරයා CID ය හමුවේ දන්වා සිටියේය.
ඒ අනුව, සැකකරුට විරුද්ධව නඩුවක් පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවට මහාධිකරණයට නිරීක්ෂණය වන බව සඳහන් කරමින් හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න මහතා ඇප මත මුදාහරින ලෙස විනිසුරුවරයා නියෝග කළේය.
මීට පෙර, අපරාධ නඩුවිධාන සංග්‍රහයේ විධිවිධාන නිසි ලෙස අනුගමනය නොකිරීම හේතුවෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගොනු කර තිබූ නඩුවක් ද විවේචනයට ලක් විය. මෙම සිදුවීම් හරහා, වැරදි ක්‍රියා පටිපාටි භාවිත කරමින් රාජ්‍ය නිලධාරීන් අත්අඩංගුවට ගැනීමේදී පොලිස් දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය පිළිබඳව නැවත විමසා බැලීමේ අවශ්‍යතාවය මතු වී තිබේ.