රජය විසින් මෙවර යල කන්නයේදී මිලදී ගත් වී මෙට්‍රික් ටොන් 50,000කට ආසන්න තොගය සහල් බවට පත් කිරීමේ ක්‍රියාවලියේදී රුපියල් මිලියන 200කට වැඩි දැවැන්ත වංචාවක් සිදුවීමට ආසන්න බව ශ්‍රී ලංකා සහල් නිෂ්පාදකයන්ගේ ජාතික සම්මේලනය චෝදනා කරයි.
සම්මේලනයේ කැඳවුම්කරු මුදිත පෙරේරා මහතා පොළොන්නරුවේදී පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය.
ටෙන්ඩර් කොන්දේසි සුළු මෝල් හිමියන්ට අහිමි කරයි
මුදිත පෙරේරා මහතා පෙන්වා දුන්නේ, මේ වන විට රජය සතු වී තොග සහල් බවට පත් කිරීම සඳහා ජාතික සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව (සතොස) විසින් ටෙන්ඩර් කැඳවා ඇති නමුත්, එහි කොන්දේසි සකස් කර ඇත්තේ මහා පරිමාණ මෝල් හිමියන්ට පමණක් පූර්ණ හිමිකාරිත්වය ලැබෙන පරිදි බවයි.
මෙම කොන්දේසිය හේතුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ට රජයේ වී තොග සහල් බවට පත් කිරීමේ ක්‍රියාවලියට සම්බන්ධ වීමට අවස්ථාවක් ලැබී නොමැති බව ඔහු පැවසීය.
සහල් අස්වැන්න අඩු කිරීම පිටුපස ඇති සැකය
එමෙන්ම, මහා භාණ්ඩාගාරයට විශාල පාඩුවක් සිදු කරමින් වංචාවක් සිදුකිරීමට සැලසුම් කර ඇති බවට මුදිත පෙරේරා මහතා තවත් බරපතල චෝදනාවක් එල්ල කළේය.
සාමාන්‍යයෙන් රජය සතු නාඩු වී කිලෝග්‍රෑම් 100කින් සහල් කිලෝග්‍රෑම් 65ක් නිෂ්පාදනය කළද, සතොස සභාපතිවරයා ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව හිතාමතාම මෙවර එම අගය කිලෝග්‍රෑම් 63ක් දක්වා අඩු කර ඇති බව ඔහු සඳහන් කළේය.
“මෙම ක්‍රියාවලිය හරහා මහා භාණ්ඩාගාරයට අතිවිශාල මුදලක් අහිමිවනවා. එය රුපියල් මිලියන 200කට වැඩි දැවැන්ත වංචාවක් බවට පත් වෙන්න පුළුවන්” මුදිත පෙරේරා මහතා වැඩිදුරටත් කියා සිටියේය.
දින පහක වී තොගය ද මහා පරිමාණ මෝල් හිමියන්ට!
ශ්‍රී ලංකා සහල් නිෂ්පාදකයන්ගේ ජාතික සම්මේලනයේ නියෝජිතයෝ පෙන්වා දෙන්නේ, රජය සතුව මේ වන විට පවතින්නේ ලංකාවේ සමස්ත පරිභෝජනයට දින පහකට පමණක් ප්‍රමාණවත් වන වී තොගයක් බවයි.
එවැනි තීරණාත්මක තොගයක් ද මහා පරිමාණ සහල් මෝල් හිමියකු සතු කිරීම ඉතාමත් අමනෝඥ ක්‍රියාවක් බව ඔවුහු පවසති.
රජය තවදුරටත් මහා පරිමාණ මෝල් හිමියන්ට පමණක් වී තොග සහල් බවට පත් කිරීමේ අවස්ථාව ලබා දෙන්නේ නම්, ඉදිරියේදී සතොස ආයතනය වෙත සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන් විසින් සිදු කරනු ලබන සහල් සැපයුම සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගැනීමට සිදුවනු ඇති බව මුදිත පෙරේරා මහතා අවධාරණය කළේය.

