“වෙනසක” බලාපොරොත්තුවෙන් බලයට පැමිණි ජාතික ජන බලවේගය (මාලිමාව), අද වන විට බලය රැකගැනීම සඳහා ඕනෑම නින්දිත දේශපාලන ක්‍රීඩාවක නිරත වන බව කොළඹ මහ නගර සභාවේ අයවැය ඡන්ද විමසීමෙන් මැනවින් තහවුරු වී තිබේ. පසුගිය 22 වැනිදා පැවති පළමු අයවැය ඡන්දයේදී වැඩි ඡන්ද 03කින් අන්ත පරාජයට පත් වූ මාලිමාව, අද (31) සිය දෙවැනි උත්සාහය ජයග්‍රහණය කළේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම පසෙකලා විපක්ෂයේ මන්ත්‍රීවරුන් “ඩැහැගැනීමේ” සහ දේශපාලන කුමන්ත්‍රණවල නිරත වීමේ ප්‍රතිඵලයක් ලෙසිනි.
අද පැවති ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 58ක් සහ විපක්ෂව ඡන්ද 56ක් ලැබුණු අතර, මාලිමාව වැඩි ඡන්ද 02කින් තීරණාත්මක ජයක් ලැබීය. කෙසේ වෙතත්, මෙම ජයග්‍රහණය පිටුපස ඇත්තේ දේශපාලන සදාචාරය කෙලෙසූ පාවාදීම් සමූහයකි. විශේෂයෙන්ම, මීට පෙර අයවැයට විරුද්ධ වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීනි සිහාරා බුහාරි මෙවර අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීම මාලිමාව පිටුපස දොරෙන් සිදුකළ “ගනුදෙනුවල” තරම කියාපායි. පක්ෂ තීන්දුවට පිටින් ගිය ඇයව පක්ෂයෙන් නෙරපා හැරීමට මුස්ලිම් කොංග්‍රසය වහාම පියවර ගෙන ඇති අතර, මාලිමාවට පක්ෂ වූ සමගි ජන බලවේගයේ මන්ත්‍රී ඩැනියෙල් රාම් මහතාට ද සිය පක්ෂ සාමාජිකත්වය අහිමි විය.
එමෙන්ම, එජාප මන්ත්‍රී මොහොමඩ් අමීර් සුබේර් ඡන්දය විමසන අවස්ථාවේ සභාවෙන් පිටව යාම සහ තවත් විපක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සභාවට සහභාගී නොවීම හරහා පෙනී යන්නේ, මාලිමාව තමන්ට නැති බහුතරය කෘතිමව නිර්මාණය කරගැනීමට දරන උත්සාහයයි.
කොළඹ මහ නගර සභාවේ සභික රීසා සරූක්,
“කොළඹ අයවැය අද පාලක පක්ෂය ජයග්‍රහණය කළා. අපේ මන්ත්‍රීවරයෙක්ව නාරාහේන්පිට පොලීසියෙන් උදෙන්ම ගෙදර ගිහින් අරගෙන රඳවගෙන තිබ්බා. තවත් මන්ත්‍රීවරු දෙන්නෙක් අතුරුදන්. ගෙදරත් ගිහින් බැලුවා ඒ මන්ත්‍රීවරුන් දෙදෙනා නැහැ. එතකොට එතනත් අපිට ඡන්ද 2ක් නැහැ. ඒ වගේම තවත් මන්ත්‍රීතුමෙකුගේ භාර්යාවට හෘදයාබාධයක් කියලා ඡන්දය භාවිත කිරීම කිට්ටු කරලා එතුමට නික්ම යන්න වුණා. ඒ වගේම අපිත් එක්ක හිටපු මන්ත්‍රීතුමියක් ඡන්දය පාවිච්චි කළේ ආණ්ඩු පක්ෂයට. අපිට හිතාගන්න පුළුවන් මොකක්ද මෙතන වෙලා තියෙන්නේ කියලා.”
“එදා පළමුවර අයවැය පරාජයට පත්වූ මොහොතේ නගරාධිපතිතුමිය ප්‍රකාශ කළා හෘද සාක්ෂියට තට්ටු කරලා බලන්න කියලා අපි එතුමියට කියනවා. අද දිනයේ බහුතරය ලබාගත්තේ කොහොමද කියලා තට්ටු කරලා අහන්න.”
“අපිට බහුතරය නැති නිසා නෙමෙයි අපි අද පැරදුණේ. මන්ත්‍රීවරුන් මෙතන නොසිටි නිසා තමයි අපි පරාජයට පත් වුණේ. අපි ඉදිරියටත් අපේ බහුතරය රැක ගනිමින් අපේ කටයුතු කරනවා.”
පළාත් පාලන බලය දෙදරා යයි – මිනුවන්ගොඩ නගරාධිපති ඉල්ලා අස්වේ!
මාලිමාවේ මෙම අස්ථාවර පාලනය කොළඹට පමණක් සීමා වී නැත. මිනුවන්ගොඩ නගර සභාවේ සභාපති ධූරය හෙබවූ මාලිමාවේ අසේල වික්‍රමාරච්චි මහතා අද සිය ධූරයෙන් ඉල්ලා අස්වීම හරහා පාලක පක්ෂය තුළ පවතින අභ්‍යන්තර අර්බුදය මතුපිටට පැමිණ තිබේ. මාස හයක වැනි කෙටි කාලයකින් පසු සභාපතිවරයෙකු ඉල්ලා අස්වීමට සිදුවීම මාලිමාවේ පරිපාලනමය අසාර්ථකත්වය සහ ජනතා අපේක්ෂා ඉටු කිරීමට ඇති නොහැකියාව විදහා දක්වන තවත් සාක්ෂියකි.
“නව දේශපාලන සංස්කෘතියක්” ගැන වහසි බස් දෙඩූ මාලිමාව, අද සිය බලය රැකගැනීමට පරණ දේශපාලනයේම කුණු වූ මෙවලම් භාවිත කරමින් සිටීම රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කළ මරු පහරකි. ජනතා වරමක් නොමැතිව, මන්ත්‍රීවරුන් බිලිබා ගනිමින් පවත්වාගෙන යන මෙම “හිස්” පාලනය ඉදිරියේදී ජනතාව විසින්ම ප්‍රතික්ෂේප කරනු ඇතැයි දේශපාලන විචාරකයෝ පවසති.


