“දිට්වා” (Ditwah) සුළි කුණාටුවෙන් සිදුවූ දරුණු විනාශය වළක්වා ගැනීමට හෝ අවම කර ගැනීමට ජාතික ජන බලවේගය (මාලිමා) රජය අසමත් වීම හේතුවෙන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව පවසමින් මහනුවර ප්‍රදේශයේ නීතිඥයෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ. නීතිඥ කීර්ති බණ්ඩාර කිරිදෙන මහතා විසින් ඉදිරිපත් කරන ලද මෙම පෙත්සම මගින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ඇතුළු අමාත්‍ය මණ්ඩලය සහ ජාතික ආපදා කළමනාකරණ කමිටුව වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත. “සිස්ටම් චේන්ජ්” එකක් ගැන කියමින් බලයට ආ පාලනයක්, ජනතාවගේ ජීවිත සහ දේපළ ආරක්ෂා කර ගැනීමට මෙතරම් අසාර්ථක වීම ජනතාවගේ දැඩි කෝපයට හේතුවී තිබේ.
පෙත්සම්කරු පෙන්වා දෙන්නේ මහනුවර අධිකරණ සංකීර්ණයට යාබදව පිහිටි සිය නීතිඥ කාර්යාලය ජල ගැලීම්වලින් සම්පූර්ණයෙන්ම විනාශ වූ බවයි. එහි තිබූ වටිනා පරිගණක දත්ත සහ වෘත්තීය ලිපිගොනු විනාශ වීම නිසා සිය වෘත්තීය ජීවිතයට බරපතළ හානියක් සිදුව ඇති බව ඔහු පෙන්වා දෙයි. විශේෂයෙන්ම, කොත්මලේ ජලාශයේ ජලය මුදා හැරීමට පෙර ගම්පොළ, ගලහ, පේරාදෙණිය සහ මහනුවර ප්‍රදේශවල ජනතාව දැනුවත් කිරීමට බලධාරීන් කටයුතු කළේ නම් මෙම විනාශය වළක්වා ගැනීමට හැකියාව තිබූ බව පෙත්සමෙහි සඳහන් වේ. මෙය හුදු ස්වාභාවික විපතක් නොව, ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවය සහ රාජකාරිය පැහැර හැරීම නිසා සිදුවූ “මිනීමරු” නොසැලකිල්ලක් බවට චෝදනා එල්ල වේ.
පසුගිය කාලය පුරාම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබියදීත්, ආපදා කළමනාකරණය වෙනුවෙන් නිසි පෙර සූදානමක් නොතිබීම මාලිමා පාලනයේ ඇති අත්දැකීම් රහිත බව මැනවින් විදහා දක්වයි. මීට පෙර වාර්තා වූ පරිදි, මෙම ව්‍යසනයෙන් රට පුරා පුද්ගලයන් 800කට ආසන්න පිරිසක් මියගොස් හෝ අතුරුදහන් වී ඇති අතර, ලක්ෂ 14කට අධික පිරිසක් අවතැන්ව සිටිති. මෙවැනි බරපතළ තත්ත්වයක් තුළත්, ජනාධිපතිවරයා ඇතුළු රජයේ මැති ඇමතිවරුන් සිය දේශපාලන ප්‍රචාරණ කටයුතුවල නිරත වීම මිස ජනතාව බේරා ගැනීමට ක්‍රියා නොකිරීම ශිෂ්ඨසම්පන්න සමාජයක පිළිගත නොහැකි ක්‍රියාවකි. ආණ්ඩුවේ මෙම අත්තනෝමතික සහ අදූරදර්ශී පිළිවෙත නිසා රටේ ආර්ථිකයට ද අතිවිශාල පාඩුවක් සිදුවී ඇති අතර, ප්‍රකට ආර්ථික විද්‍යාඥයින් පවා පෙන්වා දෙන්නේ මෙම නොසැලකිලිමත්කම නිසා රට තවත් අගාධයකට වැටී ඇති බවයි.
මෙම පෙත්සම මගින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටින්නේ රජයේ සහ නිලධාරීන්ගේ නොසැලකිලිමත්භාවය හේතුවෙන් පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසයි. බලයට පත්වී වසරකුත් මාස තුනක් වැනි කෙටි කාලයක් තුළ, මාලිමා රජයට මෙවැනි බරපතළ අධිකරණමය අභියෝගයකට මුහුණ දීමට සිදුවීම හරහා තහවුරු වන්නේ ඔවුන්ගේ “ජනහිතකාමී” වෙස් මුහුණ තවදුරටත් වලංගු නොවන බවයි. ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන රජයකට, ජනතාව අනතුරේදී අතහැර දැමීමට ඇති අයිතිය දැන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රශ්න කෙරෙනු ඇත.


