“සිස්ටම් චේන්ජ්” එකක් සහ “නීතියේ ආධිපත්‍යය” ගැන මොරගසමින් බලයට පැමිණි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව යටතේත්, අද මෙරට මගී ප්‍රවාහන ක්ෂේත්‍රය “කැලෑ නීතිය” රජයන ම්ලේච්ඡ තිප්පොළක් බවට පත්ව තිබේ. රටේ නීතිය ක්‍රියාත්මක කරනවා වෙනුවට, ප්‍රාදේශීය චණ්ඩි කණ්ඩායම් සහ මාෆියාකරුවන් පාරේ නීතිය අතට ගන්නා තත්ත්වයක් තුළ, සාමාන්‍ය මගියා මෙන්ම සිය වෘත්තීය ගෞරවාන්විතව කරගෙන යාමට උත්සාහ කරන රියදුරන් ද අද දැඩි අනාරක්ෂිත භාවයකට පත්ව ඇත. සංචාරක පුරවරයක් ලෙස ලෝකප්‍රකට ඇල්ල නගරයෙන් පසුගියදා වාර්තා වූ සිදුවීම, මෙම පද්ධතිමය අර්බුදයේ සහ වත්මන් පාලනයේ නින්දිත නිද්‍රාශීලීත්වයේ මෑතකාලීනම සහ බරපතළම නිදසුනයි.
ඇල්ල නගරයේදී PickMe සහ Uber වැනි App මූලික කුලී රථ සේවා සපයන රියදුරන්ට ප්‍රාදේශීය ත්‍රීවිල් රියදුරන් විසින් සිදු කළ තර්ජනය කිරීම්, පහරදීම් සහ බාධා කිරීම් හුදු පෞද්ගලික ආරවුලක් ලෙස බැහැර කළ නොහැක. එය දශක ගණනාවක් පුරා මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රය වෙලාගෙන ඇති, දේශපාලන රැකවරණය ලබන මාෆියාවක නිරුවත හෙළිදරව් කිරීමකි. මේ සම්බන්ධයෙන් රියදුරන් විශාල පිරිසක් ඇල්ල නගරයට රැස්වී විරෝධය පෑවේ “අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනු” යන ඉල්ලීම පෙරදැරි කරගෙනය. නමුත් ප්‍රශ්නය පවතින්නේ, එවැනි ම්ලේච්ඡ ක්‍රියා සිදුවන විටත් පොලිසිය සහ රජය අන්ධයන් මෙන් බලා සිටීම තුළයි. නීතිය පසිඳලීමේ වගකීම රජය සතු වුවද, අද සිදු වන්නේ රියදුරන්ට සිය ආරක්ෂාව පතා වීදි බැසීමට සිදුවීමයි.
මෙම ගැටුමේ සැබෑ වින්දිතයා වන්නේ මගියා හෙවත් පාරිභෝගිකයාය. අද මගියා සිටින්නේ කුලී රථ රියදුරන් අතර පවතින මෙම ගරිල්ලා සටන මැද අසරණ වෙමිනි. ගමන් ගාස්තු සම්බන්ධයෙන් කිසිදු පැහැදිලිභාවයක් නැති, ආරක්ෂාව පිළිබඳ සහතිකයක් නැති, සහ සේවාවේ ගුණාත්මකභාවය මැනීමට ක්‍රමවේදයක් නැති යුගයකට මාලිමා ආණ්ඩුව රට ඇද දමා ඇත. ඔවුන් “ඩිජිටල් ආර්ථිකයක්” සහ “නවීන සංචාරක රටක්” ගැන වේදිකාවල ලස්සන කතා කිව්වද, ඇල්ල වැනි ජාත්‍යන්තර සංචාරක කේන්ද්‍රස්ථානයකදී විදේශිකයෙකු ඉදිරියේ සිදුවන මෙම පහරදීම්වලින් රටේ ප්‍රතිරූපයට සිදුවන හානිය ගණනය කළ නොහැකි තරම්ය.
මෙම අර්බුදය පුද්ගලික එකක් නොව, ව්‍යුහගත පද්ධතිමය අර්බුදයකි.
කෙසේ නමුත් මේ වන විට මගී ප්‍රවාහන ක්ෂේත්‍රය නියාමනය කිරීම සඳහා 1991 අංක 37 දරන ජාතික ගමනාගමන ගමනාගමන කොමිෂන් සභා පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත සංශෝධනය කරමින් 2025 අංක 8 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා (සංශෝධන) පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව සංශෝධනය වී නීතියක් බවට පත්ව තිබේ.
එහෙත් එම පනත කිසිසේත් ම පවතින තත්ත්වය සමනය කිරීම සඳහා ප්‍රමාණවත් නැතික ප්‍රතිපාදනයක් නොවන බව සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය දිගින් දිගටම පැවසුව ද බලධාරීන් දැනුවත් කළ ද පලක් වූයේ නැත.
PickMe හෝ Uber වැනි නවීන සේවාවන් සහ සාම්ප්‍රදායික ත්‍රීවිල් සේවාවන් යන දෙකම එකම නීතිමය පාලනයක් යටතට ගෙන ඒමට පාලකයන් වසර ගණනාවක් තිස්සේ අපොහොසත් වී තිබේ. එහි ප්‍රතිඵලය වී ඇත්තේ ප්‍රාදේශීයව “බලය” සහ “සම්බන්ධතා” ඇති කණ්ඩායම්, නිදහස් වෙළඳපොළ තරඟකාරිත්වය මැඩපවත්වා සිය ඒකාධිකාරය පවත්වාගෙන යාමට ප්‍රචණ්ඩත්වය යොදා ගැනීමයි. නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ නම්, කිසිදු පාර්ශ්වයකට පාරේදී තීන්දුව ගැනීමට අයිතියක් නැත.
මෙම පවතින අරාජිකත්වයට විසඳුමක් ලෙස සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය විසින් “Passenger Rights Act” (මගී අයිතිවාසිකම් පනත) නමින් මූලික පනත් කෙටුම්පතක් සකස් කර ඉදිරිපත් කර ඇත.
ශ්‍රී ලංකාව තුළ බස්, දුම්රිය සහ කුලී රථ සේවා භාවිතා කරන මගීන්ගේ අයිතිවාසිකම් ස්ථාපිත කිරීම සහ ආරක්ෂා කිරීම සඳහාත්; මගී ප්‍රවාහනයේදී ඉහළ මට්ටමේ සේවා ගුණාත්මකභාවය, ආරක්ෂාව සහ ප්‍රවේශ්‍යතාව සහතික කිරීම සඳහාත්; දුක්ගැනවිලි විසඳීමට සහ විසඳුම් සෙවීමට ඵලදායී යාන්ත්‍රණ සැපයීම සඳහාත්; ප්‍රවාහන සේවා සපයන්නන් විසින් සාධාරණ හා වෙනස් කොට සැලකීම් නොකරන පිළිවෙත් ප්‍රවර්ධනය කිරීම සඳහාත්; සමස්ත මගී අත්දැකීම් වැඩිදියුණු කිරීමට සහ වඩාත් වගකිවයුතු ප්‍රවාහන අංශයක් පෝෂණය කිරීම සඳහාත්; ඉහත කරුණු වලට සම්බන්ධ සහ ඊට අනුෂාංගික කරුණු සඳහා විධිවිධාන සැලස්වීම උදෙසාත් මෙම පනත් කෙටුම්පත අප විසින් ඉදිරිපත් කරනු ලැබේ. එසේම මෙම මෙම පනත රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ඇතුළුව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන සියලුම බලපත්‍රලාභී බස්, දුම්රිය සහ කුලී රථ සේවාවන් සඳහා අදාළ වන ලෙස සකසා තිබේ.
මෙම පනතේ මූලික අරමුණ වන්නේ මගියාගේ අයිතිවාසිකම් නීතිගත කිරීම සහ සියලුම මගී ප්‍රවාහන සේවාවන් සඳහා සමාන නියාමන රාමුවක් ඇති කිරීමයි. ගාස්තු තීරණය කිරීමේ විනිවිදභාවය, ආරක්ෂාව පිළිබඳ සහතිකය සහ මගියෙකුට හෝ රියදුරෙකුට ගැටලුවක් ඇති වූ විට සාධාරණ මැදිහත්වීමක් සිදු කළ හැකි ස්වාධීන යාන්ත්‍රණයක් මෙහි ඇතුළත් වේ. ඇල්ලේ සිද්ධිය වැනි තත්ත්වයන් මතු වූ වහාම නීතිය මැදිහත් වීමට අවශ්‍ය ප්‍රතිපාදන මෙහි පවතී. නමුත්, වත්මන් රජය මෙවැනි ප්‍රායෝගික විසඳුම් කෙරෙහි උනන්දුවක් දක්වන බවක් පෙනෙන්නට නැත.
අද රටේ පවතින්නේ “නීතියට වඩා බලය ක්‍රියාත්මක වන” ක්‍රමයකි. ප්‍රදේශීය දේශපාලන හෙන්චයියන්ගේ සහ මාෆියාකරුවන්ගේ සහයෝගය අවශ්‍ය නිසා, ඔවුන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට ආණ්ඩුව පසුබට වෙයි. මෙවැනි තත්ත්වයක් තුළ පාරිභෝගිකයා සම්පූර්ණයෙන්ම අසරණ වන අතර, ම්ලේච්ඡත්වය රජයන රටකට කිසිදු දිනෙක සැබෑ දියුණුවක් ළඟා කරගත නොහැක. ඩිජිටල් යුගයට අනුගත වන රියදුරන්ට පහර දෙන තැනකට රට පත්ව තිබීම, අප සියවස් ගණනාවක් ආපස්සට ගමන් කරන බවට දෙන පැහැදිලි සංඥාවකි.
අවසාන වශයෙන් මාලිමා රජයට පැවසීමට ඇත්තේ එකක් පමණි. අපට අවශ්‍ය වන්නේ ත්‍රීවිල් රියදුරන්ට හෝ ඇප් ටැක්සි සේවාවන්ට එරෙහිව සටන් කිරීම නොවේ. අපට අවශ්‍ය වන්නේ මගියා කේන්ද්‍ර කරගත්, නීතිමය, සාධාරණ සහ විවෘත ප්‍රවාහන පද්ධතියකි. “Passenger Rights Act” වැනි නීතිමය ප්‍රවේශයන් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුවට කොන්දක් නැතිනම්, ඔබත් පෙර සිටි පාලකයන්ට වඩා වෙනස් වන්නේ නැති බවත් කණගාටුවෙන් වුව ද කිව යුතුය.
විමුක්ති දුෂාන්ත (සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමයේ කැඳවුම්කරු)


