ශ්‍රී ලාංකේය රූපවාහිනී කලාවේ විශිෂ්ටයන් ඇගයීමට ලක්කෙරෙන “රාජ්‍ය රූපවාහිනී සම්මාන උළෙල” වසර පහක විරාමයකින් පසුව ඊයේ (22) පස්වරුවේ කොළඹ ජාතික කෞතුකාගාර ශ්‍රවණාගාරයේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙහිදී සිරස නිවුස්ෆස්ට් හි ජ්‍යෙෂ්ඨ පුවත් නිවේදිකා ඔමායා කෝවිලගොඩගේ වසරේ හොඳම පුවත් නිවේදිකාව ලෙස රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබීම විශේෂත්වයක් වූ අතර, ඇයගේ වෘත්තීය නිපුනතාවය සහ ප්‍රවෘත්ති ක්ෂේත්‍රයට දක්වන දායකත්වය මෙලෙස රාජ්‍ය ඇගයීමට ලක්විය.
කොරෝනා වසංගතය සහ රටේ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් 2021 වසරේ සිට පැවැත්වීමට නොහැකි වූ මෙම සම්මාන උළෙල, මෙවර සංවිධානය කර තිබුණේ 2021 සිට 2024 දක්වා වූ වසර හතරක කාලය ආවරණය වන පරිදිය. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උළෙල සඳහා ප්‍රවීණ කලාකරුවන්, දේශපාලනඥයන් සහ මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් රැසක් සහභාගී වී සිටියහ.
සිරස සහ ශක්ති නාලිකා රැසකට සම්මාන වරුසාවක්
මෙවර සම්මාන උළෙල සිරස, ශක්ති සහ TV1 නාලිකා ඇතුළත් MTV/MBC මාධ්‍ය ජාලයට ජයග්‍රාහී රාත්‍රියක් විය. ඔමායා කෝවිලගොඩගේ ලැබූ විශිෂ්ට ජයග්‍රහණයට අමතරව, තවත් අංශ රැසකින් එම නාලිකා ජයග්‍රහණ අත්පත් කර ගත්තේය
021 වසරේ සිට 2024 වසර දක්වා රූපවාහිනී ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ඇගයීමට ලක් වූ රාජ්‍ය රූපවාහිනී සම්මාන උළෙලේ ප්‍රධාන සම්මාන ලාභීන්ගේ ලැයිස්තුව පහත දැක්වේ.
ප්‍රවෘත්ති සහ නිවේදන අංශය:
- හොඳම පුවත් නිවේදිකාව (සිංහල): ඔමායා කෝවිලගොඩගේ (සිරස නිවුස්ෆස්ට්)
- හොඳම පුවත් නිවේදක (සිංහල): නිපුන් ලියනගේ (ස්වර්ණවාහිනී)
- හොඳම පුවත් නිවේදක (දෙමළ): එස්. වසන්තකුමාර් (ශක්ති ටීවී)
- හොඳම වැඩසටහන් නිවේදිකාව: නිලක්ෂි හැලපිටිය (ජාතික රූපවාහිනිය)
- විමර්ශනාත්මක පුවත් වාර්තාකරණය (2021): වින්දන ප්‍රසාද් කරුණාරත්න (නිවුස්ෆස්ට්)
ටෙලිනාට්‍ය අංශය:
- හොඳම ටෙලිනාට්‍ය නළුවා: ධනුක දිල්ෂාන්
- හොඳම ටෙලිනාට්‍ය නිළිය: තිසුරි යුවනිකා
- හොඳම ටෙලිනාට්‍යය: “පික්පොකට්” (අධ්‍යක්ෂණය: ප්‍රියන්ත ප්‍රනාන්දු)
- හොඳම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය: ක්‍රිෂාන්ත දයානන්ද
- හොඳම සහය නළුවා: සම්මාන ප්‍රසාද්
- හොඳම සහය නිළිය: මාධනී මල්වත්ත
- හොඳම තිර රචනය: ලාල් වසන්ත කරුණාරත්න
- හොඳම ඒකල ටෙලිනාට්‍යය (2024): “සඳ වතුර” (අධ්‍යක්ෂණය: අතුල පීරිස් – සිරස ටීවී)
වැඩසටහන් අංශය:
- හොඳම සංගීතමය වැඩසටහනය (2023): “සජ්ඣායනා” (සිරස ටීවී)
- හොඳම වාර්තා වැඩසටහන: “සක්මන්” (ජාතික රූපවාහිනිය)
- හොඳම සම්මුඛ සාකච්ඡා වැඩසටහන: “පැතිකඩ” (අශෝක ඩයස් – සිරස ටීවී/TV1)
- හොඳම ළමා වැඩසටහන: “පුංචි පැංචි” (ස්වාධීන රූපවාහිනිය)
- හොඳම රූපවාහිනී සඟරා වැඩසටහන: “සිතමු” (ජාතික රූපවාහිනිය)
විශේෂ ඇගයීම්:
- ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන “ස්වර්ණ සිංහ” සම්මානය: ප්‍රවීණ කලාකරු සතිස්චන්ද්‍ර එදිරිසිංහ මහතා වෙත පිරිනැමිණි.
මෙම සම්මාන උළෙලේදී වසර හතරකට අදාළව සම්මාන 100කට අධික ප්‍රමාණයක් පිරිනැමුණු අතර, රාජ්‍ය සහ පෞද්ගලික නාලිකා දෙඅංශයේම නිර්මාණ මෙහිදී ඇගයීමට ලක් විය.


