back to top
Monday, December 15, 2025
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

spot_imgspot_imgspot_imgspot_img

Related News

බුදු දහමේ ප්‍රශ්නයක් නිසා පෙරළිකාර හේමකුමාර පදක්කමෙන් සමුඅරන්!

ශ්‍රී ලංකා දේශපාලනයේ ‘පෙරළිකාර’ චරිතයක් ලෙසින් හඳුන්වන හිටපු කෘෂිකර්ම අමාත්‍ය ආචාර්ය හේමකුමාර නානායක්කාර මහතා, සර්වජන බලය දේශපාලන සන්ධානයේ ජ්‍යෙෂ්ඨ නායකත්වයෙන් ඉවත් වී, මින් ඉදිරියට කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ නොවී, ජාතියේ අභිමානය, ප්‍රෞඪත්වය සහ බුදු දහමේ අභිවෘද්ධිය වෙනුවෙන් පූර්ණකාලීනව කටයුතු කිරීමට ඓතිහාසික තීරණයක් ගෙන තිබේ.

ඔහුගේ මෙම තීරණය ප්‍රකාශයට පත් කළේ, ජගත්චන්ද්‍ර මහතා විසින් රචනා කරන ලද “පෙරළිකාර හේමකුමාර” චරිතාපදාන කෘතිය එළිදැක්වීමේ උත්සවයේදීය. මෙම අවස්ථාව, හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, හිටපු කථානායක කරු ජයසූරිය ඇතුළු විවිධ දේශපාලන පක්ෂවල නායකයින්, මහා සංඝරත්නය සහ සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත් විණි.

නිහඬව සිටිය යුතු යුගයක් නොවේ

තවදුරටත් අදහස් දැක්වූ ආචාර්ය නානායක්කාර මහතා පෙන්වා දුන්නේ, වර්තමාන දේශපාලන ක්‍රියාකාරකම් සහ සමහර නායකයින්ගේ අදහස් උදහස් විමර්ශනය කිරීමේදී, ශ්‍රී ලාංකීය ජාතිය සහ බුදු දහම බරපතළ ලෙස තර්ජනයට ලක්වෙමින් පවතින බවයි.

“මෙය නිහඬව දෑත් බැඳ බලා සිටිය යුතු අවධියක් නොවේ. ඒ සඳහා මමත් පෙරමුණ ගත යුතුයි යන හැඟීම තුළ මා තවදුරටත් දේශපාලන පක්ෂයකට ගැති නොවී නිදහස් පුද්ගලයෙකු වශයෙන් කටයුතු කිරීමට තීරණය කර ඇත,”

යනුවෙන් ප්‍රකාශ කළ ඔහු, තම නව මෙහෙවර සඳහා මහා සංඝරත්නයේ ආශිර්වාදය සහ විද්වතුන්ගේ සහයෝගය අපේක්ෂා කරන බව කියා සිටියේය.

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම

තවද, ආචාර්ය නානායක්කාර මහතා ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්වලට හානිදායක ක්‍රියාවන් සම්බන්ධයෙන් සිය විරෝධය පළ කළේය. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම සියලු දෙනාගේම වගකීම බව පෙන්වා දුන් ඔහු, ප්‍රජාතන්ත්‍රවාදීව පිහිටුවා ගත් ආණ්ඩුවක් බලහත්කාරයෙන් අරගලකර පෙරලා දැමීමට කිසිවෙකුට අයිතියක් නොමැති බව අවධාරණය කළේය.

ජනාධිපතිවරයෙකු හෝ ආණ්ඩුවක් වෙනස් කිරීමේ ක්‍රමවේදය ව්‍යවස්ථාවේ අඩංගු බව පෙන්වා දුන් ඔහු, සමහර විදේශීය රටවල්වල සෘජු මැදිහත්වීම් මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී කටයුතු සඳහා ඇති බවටද අනතුරු ඇඟවීය. මෙම තර්ජනවලින් රට සහ ජාතිය ආරක්ෂා කර ගැනීම සියලු දෙනාගේම යුතුකම බවද ඔහු කියා සිටියේය.

මෙම උත්සවයේදී තවත් තීරණයක් ප්‍රකාශයට පත් විය. ජගත්චන්ද්‍ර මහතා විසින් රචනා කරන ලද “පෙරළිකාර හේමකුමාර” ග්‍රන්ථය අලෙවියෙන් ලැබෙන සියලුම මුදල්, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන අරමුදලට බැර කිරීමට තීරණය කර තිබේ.

සර්වජන බලය ජාතික නිදහස් පෙරමුණ (NFF), පිවිතුරු හෙළ උරුමය (PHU), මව්බිම ජනතා පක්ෂය (MJP), ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සහ ස්වාධීන මන්ත්‍රීවරුන්ගේ සංසදය යන කණ්ඩායම් වලින් සැදුනු දේශපාලන සන්ධානයක් වන අතර එහි ප්‍රධාන මව් පක්ෂය වන්නේ හේමකුමාර නානායක්කාර මහතා විසින් ආරම්භ කළ මව්බිම ජනතා පක්ෂයයි.

කෙසේ නමුත් සර්වජන බලය සන්ධානයේ ජ්‍යෙෂ්ඨ නායක හේමකුමාර නානායක්කාර මහතා, එහි  සභාපති ධුරයට පත් කරන ලද ආචාර්ය සරත් අමුණුගම මහතා මේ වන විට එම සන්ධානයෙන් ඉවත් වී ඇති අතර එහි ප්‍රධාන පාර්ශවකරුවන් වූ ජාතික නිදහස් පෙරමුණ සහ පිවිතුරු හෙළ උරුමය ද එම සන්ධානයෙන් ඉවත් ව කටයුතු කරන බවට වැඩිදුරටත් වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles