පසුගියදා ඇතිවූ දරුණු ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ ක්‍රියාවලියට වත්මන් රජයේ දේශපාලනඥයින් බලහත්කාරයෙන් මැදිහත් වෙමින් රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් කරන බවට ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමය විසින් බරපතල චෝදනාවක් එල්ල කර තිබේ.
මෙම චෝදනාව මගින් පැහැදිලි වන්නේ, රටම ව්‍යසනයකට මුහුණ දී සිටින අවස්ථාවක පවා පාලක පක්ෂයේ දේශපාලන බල පුරුක තමන්ගේ දේශපාලන වාසි තකා අහිංසක ජනතාවට හිමිවිය යුතු සහන අත්තනෝමතික ලෙස යොදා ගැනීමට උත්සාහ දරන බවයි.
ග්‍රාම නිලධාරී සංගමයේ කැඳවුම්කරු සුමිත් කොඩිකාර මහතා මහනුවරදී පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කළේ, ආපදා සහන ලබාදීමේදී ‘ප්‍රජා සංවර්ධන කමිටු’වල අනුමැතිය ලබා ගැනීමට බලකිරීමට කිසිදු නීත්‍යානුකූල චක්‍රලේඛයක් හෝ දැනුම්දීමක් සිදුකර නොමැති බවයි. රජය විසින් නිකුත් කර ඇති ආපදා සහන චක්‍රලේඛ (උදා: මුදල් අමාත්‍යාංශයේ අයවැය චක්‍රලේඛ අංක 08/2025) මගින් පැහැදිලිවම සහන සැලසීමේ කාර්යභාරය ග්‍රාම නිලධාරීන් සහ ප්‍රාදේශීය/දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු හරහා සිදු විය යුතු බවට මග පෙන්වා දී තිබියදී, දේශපාලනඥයන් මෙම ක්‍රියාවලියට බලෙන් ඇතුළුවීමට උත්සාහ කිරීම භයානක තත්ත්වයකි.
නීතියට පිටින් යන ‘දේශපාලන කමිටු’
සාමාන්‍යයෙන් ආපදා අවස්ථාවකදී සහන නිර්දේශ ලබාදීමේදී කිසිදු දේශපාලන කමිටුවක් අතීතයේ ක්‍රියාත්මක නොවූ බව පෙන්වා දෙන කොඩිකාර මහතා, මේ වන විට රජයේ දේශපාලනඥයින් දැඩි ලෙස රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් කරන බව ප්‍රකාශ කර සිටියේය.
“සමහර තැන්වල විවිධ පෝරම අරන් ඔවුන් බෙදනවා. මහනුවර දිස්ත්‍රික්කයේ යම් ප්‍රාදේශීය සභා කොට්ඨාසයක මන්ත්‍රීවරියක් ඒ ගමේ සියලුදෙනාට රු.25,000ක් ලබා දීමේ පෝරමය ලබා දීලා තියෙනවා. එහෙම දෙන්න බෑනේ. ඒ බෙදනකොට නිසි ප්‍රමිතියක් නෑ. ජනාධිපතිතුමා රු.25,000 දෙන්න කියන්නේ සුද්ද කරන තැනකට, ඒකට ආපදාවක් වෙන්න ඕනි. නැතුව ගමේ හැමදෙනාටම තමන්ගේ දේශපාලන හිතවතුන්ට ඒක දෙන්න බෑ.”
මෙම සිදුවීම් මගින් පැහැදිලි වන්නේ, ආපදාවෙන් විපතට පත් වූවන්ගේ නිසි අවශ්‍යතාවයන් තක්සේරු කිරීම වෙනුවට, තමන්ගේ දේශපාලන හිතවතුන් සහ ඡන්ද පදනම ශක්තිමත් කර ගැනීම සඳහා දේශපාලනඥයින් රාජ්‍ය මුදල් අවභාවිත කිරීමට උත්සාහ දරන බවයි.
ග්‍රාම නිලධාරී සංගමය වැඩිදුරටත් අවධාරණය කරන්නේ, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, නාගරික මන්ත්‍රීවරුන් සහ විවිධ කොට්ඨාස සභා නායකයින් “තමන්ගේ බලය අතට ගෙන” නිලධාරීන්ට බලපෑම් කිරීම වහාම නැවැත්විය යුතු බවයි. නිලධාරීන් නීතියට අනුව කටයුතු කිරීමට උත්සාහ කරන විට දේශපාලන මැදිහත්වීම් හරහා ඔවුන් අධෛර්යමත් කිරීම, සමස්ත සහන සේවා යාන්ත්‍රණයම අක්‍රීය කර දමනු ඇත.
මේ අනුව, ආපදා සහන යනු දේශපාලන වාසි ලබාගැනීමේ මෙවලමක් නොවන බව පාලක පක්ෂයට අවධාරණය කරන ග්‍රාම නිලධාරී සංගමය, ජනාධිපතිවරයාගෙන් දැඩි ලෙස ඉල්ලා සිටින්නේ මෙම දේශපාලන බලපෑම් වහාම නවත්වන ලෙසට සහ සහන බෙදා දීම විනිවිදභාවයෙන් හා නීත්‍යානුකූලව සිදු කිරීමට අවශ්‍ය පරිසරය සකස් කර දෙන ලෙසටය.


