රට තුළ දැඩි ආර්ථික අර්බුදයක් සහ වාහන ආනයන සීමා පවතින අවස්ථාවක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය රුපියල් බිලියනයක් පමණ වටිනා සුඛෝපභෝගී ‘මර්සිඩීස් බෙන්ස් මර්බැක්’ (Mercedes-Benz Maybach) රථයක ගමන් කරන බවට හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා කළ ප්‍රකාශයත් සමඟ, රජයේ මූල්‍ය විනය පිළිබඳව නැවත වරක් ප්‍රබල කතාබහක් මතුව තිබේ.
සිය නිවසේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් වීරක්කොඩි මහතා මෙම තොරතුරු අනාවරණය කළේය. ආරම්භයේදී අග්‍රාමාත්‍යවරිය ඩබල් කැබ් රථයක් භාවිතා කරන බවට වීඩියෝ සහ ඡායාරූප ප්‍රචාරය වූ නමුත්, දැන් ඇය රටේ මිල අධිකම සුඛෝපභෝගී වාහනයකින් ගමන් කරන බවට ඔහු චෝදනා කළේය. “එය බලා සිටින අනෙක් මන්ත්‍රීලාගේ කටවල් වැසීමට ඩබල් කැබ් ලබාදීමට සූදානම් වන බවද” ඔහු වැඩිදුරටත් පැවසීම, ආණ්ඩුව තුළ පවතින සුඛෝපභෝගී භාවිතාව තහවුරු කරන්නක් බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
මහ බැංකුවේ තීරණයෙන් සාමාන්‍ය ජනතාවගේ වාහන සිහිනය සුන්!
ආණ්ඩුවේ ඉහළම තලයේ මෙවැනි අධි සුඛෝපභෝගීත්වය පවතින මොහොතක, සාමාන්‍ය ජනතාවට අත්‍යවශ්‍ය වාහනයක් මිලදී ගැනීම පවා දුෂ්කර කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව දැඩි තීරණයක් ගෙන තිබේ. වාහන ආනයනය සීමා කර තිබියදීත්, වෙළෙඳපොළට සෘජුව බලපාන තීරණයක් ගනිමින් රථ වාහන සඳහා ලීසිං පහසුකම් ලබා දීමේ ණය අනුපාතයන් (Loan-to-Value Ratios) මහ බැංකුව විසින් නැවත සංශෝධනය කර ඇත.
නව සංශෝධනයට අනුව, පෞද්ගලික භාවිතය සඳහා වන මෝටර් රථ, වෑන් රථ සහ ත්‍රිරෝද රථ ඇතුළු සියලුම පෞද්ගලික වාහන සඳහා ලබාගත හැකි උපරිම ණය මුදල, වාහනයේ මුළු වටිනාකමින් 50%ක් දක්වා තවදුරටත් අඩු කර තිබේ. මීට පෙර එය 60% සිට 70% දක්වා පැවතුණි.මෙමඟින් පැහැදිලි වන්නේ, සාමාන්‍ය පවුලකට තම දෛනික කටයුතු සඳහා හෝ රැකියාව සඳහා අත්‍යවශ්‍ය වාහනයක් මිලදී ගැනීමට අවශ්‍ය මුදලින් අඩක්ම (50%) අතින් ගෙවීමට සිදුවන බවයි. එක් අතකින් ආණ්ඩුවේ ප්‍රධානීන් බිලියනයක රථවලින් ගමන් කරද්දී, අනෙක් අතට ආණ්ඩුවේම මහ බැංකුව විසින් සාමාන්‍ය ජනතාවගේ මූලික අවශ්‍යතා පවා සීමා කිරීම ආණ්ඩුවේ දෙබිඩි පිළිවෙත මනාවට පෙන්නුම් කරන බව විචාරකයෝ පෙන්වා දෙති.


