සමුපකාර නිලවරණ, ප්‍රාදේශීය සභා අයවැය ඇතුළු බිම් මට්ටමේ දේශපාලන සටන් සතර තුනකින් ම පරාජයට පත් වීමත් සමඟ, ආණ්ඩුවේ බලය රට පුරා බිඳ වැටීම ආරම්භ වී ඇති බවට පැහැදිලි සංඥා නිකුත් වී තිබේ.
අද (08) දින පැවති මාතර දිස්ත්‍රික් සණස නිලවරණය ආණ්ඩුවට සහයෝගය දක්වන කණ්ඩායම්වලට එල්ල වූ දරුණු පරාජයකින් අවසන් විය. විපක්‍ෂය සහාය දුන් කණ්ඩායම් මාතර දිස්ත්‍රික්කයේ සණස කලාප 14 න් 11 ක් ම ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර, මාලිමාව (NPP) සහාය දුන් කණ්ඩායමට හිමි වූයේ කලාප දෙකක් පමණි.
සමුපකාර ඡන්දවලදී සිදු වූ පරාජයන්, NPP හි බිම්මට්ටමේ බලයට එල්ල වූ පළමු බරපතළ රැල්ල ලෙස විචාරකයන් පෙන්වා දෙයි.
NPP පාලනය කළ සභා දෙකක අයවැය පරාජයෙන් ‘දෙවන රැල්ල’ ඇරඹෙයි!
මේ අතර, ජාතික ජන බලවේගය (NPP) යටතේ පාලනය වන ප්‍රාදේශීය සභා දෙකක අයවැය වාර්තාගත ලෙස පරාජය වීමත් සමඟ, එම බල බිඳ වැටීමේ දෙවන රැල්ල ආරම්භ වී ඇති බවට පැහැදිලි සංඥාවක් ලබා දෙයි.
සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය ඊයේ (07) දින ඡන්ද තුනකින් පරාජයට පත් වීම නවතම සිදුවීම ලෙස වාර්තා වේ. සභාපතිවරයා තේරීමේදී විපක්ෂයේ දෙදෙනෙකු NPP අපේක්ෂකයාට පක්ෂව ඡන්දය භාවිත කිරීමෙන් බලය හිමි කර ගැනීමට NPP සමත් වී තිබුණද, අයවැය ඡන්ද විමසීමේදී විපක්ෂය නියෝජනය කරන සභිකයින් 08 දෙනෙකු අයවැයට විපක්ෂව ඡන්දය භාවිත කර ඇත. NPP සභිකයින් 04 දෙනා සහ සභාපතිවරයා පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ නමුත්, විපක්ෂයේ ඒකාබද්ධ විරෝධය හමුවේ අයවැය පරාජය වීම වැළැක්වීමට ඔවුන්ට නොහැකි විය.
මීට පෙර, ජාතික ජන බලවේගයේ පාලනය යටතේ පවතින කොලොන්න ප්‍රාදේශීය සභාවේ 2024 වර්ෂය සඳහා වන මංගල අයවැය පළමුවර කියවීම පෙරේදා (06) පරාජයට පත් විය. කොලොන්න සභාවේ සමස්ත ආසන 19 න් විපක්ෂ කණ්ඩායම් සියල්ල එක්ව ආසන 10ක් දිනාගෙන සිටියද, සභාපති තේරීමේදී NPP ජයග්‍රහණය කළේ රහස් ඡන්දයකිනි. කෙසේ වෙතත්, අයවැය ඡන්ද විමසීමේදී විපක්ෂයේ කණ්ඩායම් තම ආසන බහුතරය ප්‍රයෝජනයට ගනිමින් අයවැය පරාජය කිරීමට සමත් වීමෙන්, NPP හි පාලන හැකියාවන් සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්න මතු කර ඇත.
විචාරකයන් පෙන්වා දෙන්නේ, සමුපකාර ඡන්ද සහ ප්‍රාදේශීය සභා අයවැය පරාජයන් එළඹෙන වසර සඳහා NPP හි දේශපාලන බලය සහ පාලන හැකියාවන් සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්න මතු කර ඇති බවත්, මෙය ආණ්ඩුවේ බලයට එල්ල වූ දැවැන්ත පසුබෑමක් බවත්ය.


