රජයට අයත් ප්‍රධාන අන්තර්ජාල සේවා රැසක්, විශේෂයෙන්ම ගෙවීම් හා පොලිස් නිෂ්කාශන පද්ධති ඇතුළු තීරණාත්මක සේවාවන්, රාජ්‍ය සතු තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට (ICTA) අයත් ලංකා රජයේ ක්ලවුඩ් (Lanka Government Cloud – LGC) පද්ධතියේ ඇති වූ බිඳ වැටීමක් හේතුවෙන් ඇනහිට තිබේ.
ඇනහිටි සේවා රැසක්
ICTA විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ උප්පැන්න, විවාහ සහ මරණ (BMD) සහතික පද්ධතිය, පළාත් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ (බස්නාහිර පළාත හැර) ඊ-ආදායම් බලපත්‍ර පද්ධතිය (eRL 2.0), පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් නිෂ්කාශන පද්ධතිය, සහ වාණිජ දෙපාර්තමේන්තුවේ සම්භවය සහතික නිකුත් කිරීමේ ඔන්ලයින් පද්ධතිය ඇතුළු සේවාවන් රැසක් තාවකාලිකව ඇණහිට ඇත. මීට අමතරව, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ විශ්‍රාම වැටුප් පද්ධතිය, ඊ-පළාත් පාලන පද්ධතිය සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, සමාගම් රෙජිස්ට්‍රාර් සහ ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිති මණ්ඩලය ඇතුළු වෙබ් අඩවි කිහිපයක් ද අඩාල වී තිබේ.
අනුර සහ හාන්ස් දොයි
ICTA හි ඉංජිනේරුවන් සහ සේවා සපයන්නන් ක්ලවුඩ් සේවා හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීමට ක්‍රියාශීලීව කටයුතු කරන බව පවසයි. මෙම තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වන විචාරකයන් පෙන්වා දෙන්නේ, ජාතික මට්ටමේ තීරණාත්මක සේවා පවත්වාගෙන යන ක්ලවුඩ් පද්ධතියක් මෙලෙස බිඳ වැටීම, තාක්ෂණික යටිතල පහසුකම් කළමනාකරණය පිළිබඳව ඇති බරපතළ ප්‍රශ්නයක් බවයි.
විශේෂයෙන්ම, තාක්ෂණ අමාත්‍යාංශය භාර අමාත්‍යවරයා ද වන ජනාධිපති අනුර දිසානායක මහතා සහ අදාළ ආයතනවල ඉහළ පෙළේ නිලධාරීන්, විශේෂයෙන්ම ඩයලොග් ආයතනයේ හිටපු සමුහ විධායක අධ්‍යක්ෂක, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපතිවරයාගේ ප්‍රධාන උපදේශක සහ අදාළ බලධාරී ආයතනය වන ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) සභාපති ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා, මෙම අර්බුදය සම්බන්ධයෙන් දැඩි විවේචනයට ලක්ව සිටිති. මෙතරම් කාලයක් තිස්සේ ජනතාවට අත්‍යවශ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය ක්ෂණික ධාරිතා වර්ධනයන් (Capacity Constraints) සහ කල්තියා ක්‍රියාත්මක කළ යුතු මෙහෙයුම් වැඩිදියුණු කිරීම් නොකිරීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී ඇත.
ICTA පවසන්නේ LGC සේවා ප්‍රතිෂ්ඨාපනයට ඉහළම ප්‍රමුඛතාව ලබා දී ඇති අතර, 2025 ඔක්තෝබර් මාසයේ ආරම්භ වූ LGC පුළුල් කිරීමේ ඊළඟ අදියර මගින් පවතින ධාරිතා හා මෙහෙයුම් සීමාවන් ලිහිල් කිරීමට අපේක්ෂා කරන බවයි. කෙසේ වෙතත්, මෙම ව්‍යාපෘතිය දැනටමත් ආරම්භ වී තිබියදීත්, ක්ලවුඩ් පද්ධතියේ මෙම බිඳ වැටීම සිදුවීම, සැලසුම්කරණයේ සහ ක්‍රියාත්මක කිරීමේ දුර්වලතා පෙන්නුම් කරන බව විචාරකයෝ පවසති.
ICTA විසින් ජනතාවට සහ LGC හි සත්කාරකත්වය දරන ආයතනවලට සිදු වූ අපහසුතාවය පිළිබඳව කනගාටුව පළ කර ඇති අතර, හැකි ඉක්මනින් සියලුම සබැඳි සේවාවන් සම්පූර්ණ ධාරිතාවයෙන් යථා තත්ත්වයට පත් කිරීමට සියලු උත්සාහයන් දරන බව නැවත අවධාරණය කර ඇත.