විදේශගත ශ්‍රී ලාංකිකයන් එවන මුදල් ප්‍රමාණය ඉහළ යෑම හේතුවෙන් ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ ප්‍රේෂණ ආදායම වාර්තාගත මට්ටමකට ලඟා වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවලින් හෙළිවේ.
පසුගිය සැප්තැම්බර් මාසයේදී විදේශගත ශ්‍රී ලාංකිකයන් විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 695.7 ක මුදල් ප්‍රමාණයක් මෙරටට එවා ඇති අතර, එය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට 25.2 ක සැලකිය යුතු වර්ධනයකි. පසුගිය වසරේ සැප්තැම්බරයේදී මෙරටට ලැබී තිබුණේ ඇමෙරිකානු ඩොලර් මිලියන 555.6 කි.
තවද, මෙම වසරේ මුල් මාස නවය තුළ (ජනවාරි සිට සැප්තැම්බර් දක්වා) විදේශ ප්‍රේෂණ ලෙස ඇමෙරිකානු ඩොලර් බිලියන 5.81 ක මුදල් ප්‍රමාණයක් මෙරටට ලැබී ඇත. එය පසුගිය වසරේ එම කාලය තුළ ලැබුණු ඇමෙරිකානු ඩොලර් බිලියන 4.84 ට සාපේක්ෂව සියයට 20 ක වර්ධනයක් පෙන්නුම් කරයි.
2018 වසරින් පසු වසරක් තුළ ශ්‍රී ලංකාවට ලැබුණු ඉහළම විදේශ ප්‍රේෂණ ප්‍රමාණය වාර්තා වූයේ පසුගිය වසරේදී වන අතර, එහිදී විදේශගත ශ්‍රී ලාංකිකයන් ඇමෙරිකානු ඩොලර් බිලියන 6.57 ක මුදල් ප්‍රමාණයක් එවා තිබිණි. එය 2023 වසරට සාපේක්ෂව සියයට 10.1 ක වර්ධනයකි. වත්මන් ප්‍රවණතාවන් අනුව, ශ්‍රී ලංකාවට මෙම වසරේදී පසුගිය වසරේ එම ඉලක්කය පහසුවෙන්ම පසුකර යාමට හැකි වනු ඇතැයි ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.