2012 වසරේ ඝාතනයට ලක්වූ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ගමන් කළ මෝටර් රථය පසුපසින් ලුහුබැඳ ගිය රථයේ සිටියේ පසුගියදා වෙඩි තබා ඝාතනය කරන ලද ‘මිද්දෙණියේ කජ්ජා’ හෙවත් අරුණ ශාන්ත විදානගමගේ බවට වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී මිනුර සෙනරත් මහතා සැප්තැම්බර් 30 වනදා විශේෂ අනාවරණයක් කළේය.
මෙම හෙළිදරව්ව සිදු වූයේ ‘මිද්දෙණියේ කජ්ජා’ගේ බිරිඳ විසින් ලබා දුන් සාක්ෂියක් පදනම් කරගෙන වීම විශේෂත්වයකි.
‘කජ්ජා’ හඳුනාගත් අයුරු
වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, තාජුඩීන් ඝාතනයට ලක් වූ දිනයේ ඔහු හැව්ලොක් පිහිටි සුපිරි වෙළෙඳසලක වතුර බෝතලයක් මිල දී ගෙන යළි මෝටර් රථයේ නැගී ගමන් කිරීමේදී ඔහු පසුපස තවත් මෝටර් රථයක් ලුහුබැඳ ගිය බවට සීසීටීවී දර්ශනවලින් අනාවරණය වූ බවයි.
මෙම රථය අසල සිටි පුද්ගලයා හඳුනාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මීට වසර 9කට පමණ පෙර උත්සාහ කළද එය අසාර්ථක විය. නමුත්, පසුගිය පෙබරවාරි මාසයේදී පාතාල නායක ‘බැකෝ සමන්’ විසින් ඝාතනය කරන ලද ‘කජ්ජා’ගේ බිරිඳ ලබා දුන් ප්‍රකාශයක් මත මෙම පුද්ගලයා ‘කජ්ජා’ බවට තහවුරු වී තිබේ.
CID නිලධාරීන් සීසීටීවී දර්ශන ‘කජ්ජාගේ’ බිරිඳට පෙන්වූ අවස්ථාවේදී, ඇය වහාම තම සැමියා හඳුනාගෙන ඇත.
“සර් ඔය ඉන්නේ මගේ මහත්තයා… මම මේ මනුස්සයා එක්ක අවුරුදු 17ක් පවුල් කෑවා. මම දන්නේ නැද්ද මගේ මනුස්සයා,” යනුවෙන් ඇය CID නිලධාරීන්ට පවසා ඇත.
තවදුරටත් තහවුරු කිරීමක් ලෙස, ඇය මෙලෙස පවසා ඇත: “සර් ඔය කොන්දට අත් දෙක තියාගෙන ඉන්නේ, මෙයාට කොන්දේ අමාරුවක් තියෙනවා. ඒකයි මෙයා කොයි වෙලාවෙත් අත් දෙක තියාගෙන ඉන්නේ. ඒ එයා ම තමයි.”
‘කජ්ජා’ සහ තාජුඩීන් ඝාතනය
2023 වසරේදී යූටියුබ් සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ‘කජ්ජා’ විසින් වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් කරුණු හෙළි කර තිබීම මෙම නව හෙළිදරව්වට ප්‍රධාන පසුබිමක් විය. ‘කජ්ජා’ තමා රාජපක්ෂ පවුල වෙනුවෙන් ඕනෑම මිනීමැරුමක් කළ ‘රාජපක්ෂගේ අලුගෝසුවා’ ලෙස හැඳින්වූ බවත්, තමන්ට මරණ තර්ජන ඇති බවත් එම සාකච්ඡාවලදී ප්‍රකාශ කර තිබුණි.
‘කජ්ජා’ ඝාතනයට සෘජුව සම්බන්ධ බවට චෝදනා ලැබ දැනට අත්අඩංගුවේ සිටින ‘බැකෝ සමන්’ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ද ඔහු ඝාතනයට සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී ඇත. ඝාතනයට ලක් වූ ‘කජ්ජා’ගේ බිරිඳ ද ප්‍රකාශ කර ඇත්තේ, ‘බැකෝ සමන්’ ඇතුළු පාර්ශව වෙතින් තම සැමියාට මරණ තර්ජන තිබූ බවයි.
තාජුඩීන් ඝාතනය පිළිබඳ පසුබිම
2012 මැයි 17 වන දා නාරාහේන්පිටදී ගින්නට දැවී ගිය මෝටර් රථයක් තුළ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් මියගොස් සිටියදී හමුවිය. මුලින් එය හදිසි අනතුරක් ලෙස ප්‍රකාශ කළ ද, ඔහුගේ ඥාතීන්ගේ පැමිණිලි මත අධිකරණ නියෝගයෙන් නැවත පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කරන ලදී.
2015 වසරේදී අධිකරණයට ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාව මගින් තහවුරු වූයේ තාජුඩීන්ගේ මරණය ඝාතනයක් බවයි. ඔහුට පහර දී දුර්වල වූ පසුව වාහනයේ වාඩි කරවා ඇති බවත්, ඔහුගේ දෙපාවලට, ගෙළ සහ පපුවට කළ පහරදීම්වලින් හටගත් තුවාල හේතුවෙන් ඔහු මියගොස් ඇති බවත් එම වාර්තාවේ සඳහන් විය.
අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ‘මිද්දෙණියේ කජ්ජා’ දකුණේ දේශපාලන බලයේ භීෂණ මුහුණුවර සංකේතවත් කළ පුද්ගලයකු ලෙස සැලකේ.


