Friday, September 19, 2025
spot_imgspot_imgspot_img

Top 5 This Week

spot_img

Related News

ඇමරිකාව සැප්තැම්බර් 11 ප්‍රහාරය අලෙවි කළේ කෙසේද?

(ඇමරිකා එකසත් ජනපදයට 2001 සැප්තැම්බර් 11 එල්ල කෙරුණු දැවැන්ත ප්‍රහාරය ලෝක දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යයක් සටහන් කරනු ලැබීය. එකී ප්‍රහාරය විසින් ලොව දේශපාලන සිතියම බොහෝ දුරට වෙනස් කරන ලද අතර පසුගිය සැප්තැම්බර් 11 දිනට එම ප්‍රහාරට එල්ල වී වසර 24ක් සපිරුණි. දේශපාලන-ආර්ථික විශ්ලේෂක ජයන්ත වැලිවිටගේ මෙම විග්‍රහය ඒ නිමිති කරගෙනයි.)

සැප්තැම්බර් 11 වන දින ඇමරිකා එක්සත් ජනපදයට එල්ල වූ ප්‍රහාරය නිසාවෙන් සහ 24 වන සංවත්සරය පසුගිය දා යෙදී තිබුණි. 3,000 කට අධික පිරිසක් මියගිය භයානක ඛේදවාචකය ලොව පවත්නා තෙක් මතකයක් වනු ඇත.  අවුරුදු 24 කට පසු, මේ දවස ගැන සිතීමේදී, ඇමරිකානුවන්ගේ උදව්වෙන් ගොඩනැගුණු, අල්-කයිඩා නම් සංවිධානය විසින් පුහුණු කරන ලද, බොහෝ දුරට සෞදි අරාබියේ සිටි මිනිසුන් 19 දෙනෙකු විසින් පැහැරගත් ගුවන් යානා හතරක් මගින්, දුෂ්කර ප්‍රහාර දෙකක් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ගොඩනැගිලිවලට එල්ල වූ අතර, එකක් ඇමරිකානු ආරක්ෂක මූලස්ථානය වන පෙන්ටගනයට එල්ල විය. තෙවනුව, හතරවන ගුවන් යානයේ සිටි මගීන්ගේ ධෛර්යයෙන් පෙන්සිල්වේනියාවේ දී ත්‍රස්තවාදීන් මරා දමන ලදී.

ඒ සැප්තැම්බර් 11 දා සිදු වී ලොවට හෙළි වූ සිදුවීම් කිහිපයයි.

ඊට පලිගැනීමක් ලෙස, ඇමරිකානු රජය විනාශකාරී යුද්ධ දෙකක් එනම්, ඇෆ්ගනිස්තානයට සහ වසර කිහිපයකට පසු ඉරාකයට එරෙහිව ආරම්භ කළහ. 2011 දී ඉරාක පාර්ලිමේන්තුව ඇමරිකානු හමුදාවන්ට ඉරාකයේ ක්‍රියාත්මක වීමට අමතර නීතිමය අවසරයක් ලබා දීම ප්‍රතික්ෂේප කළේය. ඇමරිකානු හමුදා ඉරාකයෙන් නෙරපා හරින ලදී. නමුත්, ඔවුන් උතුරු ඉරාකයේ කුර්දි ස්වයංපාලන බලධාරීන්ගේ අධිකරණ බලය යටතේ අදටත් එහි ක්‍රියාත්මක වෙමින් සිටිති. අදියර දෙකක ඉවත්වීමේ පළමු අදියර සම්පූර්ණ කර ඇත. 2026 සැප්තැම්බර් මාසයේදී සැලසුම්කර ඇති පරිදි කුර්දිස්තාන් කලාපයෙන් ඉවත්වීමේ දෙවන අදියර අවසන් වනවිට සියලුම ඇමරිකානු හමුදා රටින් පිටතට යන බව එයින් අදහස් නොවේ. ඔවුන්ව ඉරාකයෙන් පන්නා දමන ලද බව පැහැදිලිය. නමුත් ඇෆ්ගනිස්තානයේදී, 2021 අගෝස්තු මාසයේදී තලේබාන් හමුදා කාබුල් අල්ලාගත් විට ඇමරිකානු හමුදාවන්ට තමන්ගේ අවි ආයුධ අතහැර දමා සම්පුර්ණයෙන් ඉවත්වීමට සිදුවිය.

9/11 පහරදීම පිලිබඳ විවිධ කතා තිබේ. නමුත්, ඇමරිකාව තමන්ට සීතල යුධ සමයට පසු සිදුවූ, භයානක පරාජය වසා ගැනීමට සැලසුම් කළේය. තම වාසිය සඳහා කොන්දේසි සකස් කළහ. එහි එක් සැලසුමක් ක්‍රියාත්මක කිරීමට පෙරම හෙළිදරව් විය. ඒ 2002 ගිම්හානයේදී, බ්‍රිතාන්‍ය බුද්ධි ඒජන්සියේ (MI6) අධ්‍යක්ෂ  ‘රිචඩ් ඩියර්ලව්’, CIA අධ්‍යක්ෂ ‘ජෝර්ජ් ටෙනට්’ හමුවීමට වොෂින්ටනය වෙත ගිය අවස්ථාවේදීය. ඔවුන්ගේ රැස්වීමේ මාතෘකාව ‘ඉරාකය සහ නායක සදාම් හුසේන්’ විය. රැස්වීමේදී, CIA අධ්‍යක්ෂවරයා තම බ්‍රිතාන්‍ය සගයා සමඟ රහසිගත තොරතුරු රැසක් බෙදාගත්තේතේයපසුව ඔහු අගමැති ‘ටෝනි බ්ලෙයා’ගේ නිවස වන, අංක 10 ඩව්නිං වීදියට යාම සඳහා නැවත ලන්ඩනයට ගියේය. සැබවින්ම ‘ඩියර්ලව්’ තම අගමැතිවරයාට, ඇමරිකා එක්සත් ජනපද තිරය පිටුපස සිදුවන දේ නැත්නම්, ඔවුන් ඉරාකය ආක්‍රමණය කිරීමට සැලසුම් කරන ආකාරය පිළිබඳව සියල්ල පැවසීය. එය ඉතා රහසිගත රැස්වීමක් වූ අතර සටහන් ගෙන වර්ගීකරණය කර සංදේශයකට ඇතුළත් කරන ලදී. එම සංදේශය පසුව බ්‍රිතාන්‍ය මාධ්‍යවේදී මයිකල් ස්මිත් අතට ලැබිණ. ඔහු එය 2005 දී ප්‍රකාශයට පත් කළේය. එය රහස් රැස්වීමක් සඳහා සකස්කළ සංදේශයක් බැවින්, බ්‍රිතාන්‍ය ඉහළම නිලධාරීන් සඳහා පමණක් ඉදිරිපත් කරන අදහස් ඇතුළත් විය. නමුත් එය, එළියට කාන්දු වූ පසු පුපුරනසුලු බෝම්බයක් මෙන් විය. මෙය බුෂ් පරිපාලනය කියූ කතාවට වඩා බෙහෙවින් වෙනස් කතාවක් විය. මෙම සටහන, අගමැති ටෝනි බ්ලෙයාර් සහ ජනාධිපති ‘ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්’ අතර ඉරාකය ආක්‍රමණය කිරීම පිළිබඳ සාකච්ඡා විස්තර කරන බ්‍රිතාන්‍ය රජයේ ලේඛන මාලාවක් වන ඩව්නිං වීදියේ සංදේශයේ කොටසකි. එය එක්සත් ජාතීන්ගේ ඡන්ද විමසීමට සහ කොංග්‍රස් අනුමැතියකට පෙර බුෂ් සහ බ්ලෙයාර් ඉරාකයේ යුද්ධයට යාමට සැලසුම්කර තිබූ බවට සාක්ෂියක් විය. ‍

ඇමරිකානු ආක්‍රමණය නොවැළැක්විය හැකි බවත්, කුමක් වුවත් ජනතාව සදාම් හුසේන් බලයෙන් ඉවත් කිරීමට දැඩි ලෙස කැපවී සිටින බවත්, ඇමෙරිකානු රජය ඔවුන්ගේ ආක්‍රමණය සඳහා බුද්ධි තොරතුරු සහ කරුණු සකසමින් සිටින බව බුෂ් මහජනතාවට පැවසීය. ලෝකයේ බලය සැබවින්ම ක්‍රියාත්මක වන ආකාරය, කුඩා පිරිසක් ඒකාධිපතියෙකු පෙරළා දැමීමටත්, රටක් අත්පත් කරගැනීමටත් තීරණය කළ ආකාරය සහ පසුව ඔවුන්ගේ සැලැස්මට සහාය වීම සඳහා ‘කතාවක්’ නිර්මාණය කළ ආකාරය ඉහත ලේඛනය සාක්ෂි දරයි. එය අසත්‍ය කතාවක් වූ නමුත් එය ඔවුන්ට භයානක යුද්ධයක් ජනතාව වෙත ගෙනයාමට උපකාරී විය. එය ලන්ඩන්, ඩව්නිං වීදියේ සංදේශය මගින් විස්තරාත්මකව හෙළිකරන ලද කතාවකි.

සැප්තැම්බර් 11 වන දින ‘නිදහසේ සතුරන්’ ඇමරිකාවට එරෙහිව යුද පහරදීමක් සිදු කළේය. එක්සත් ජනපද හමුදාව ඇෆ්ගනිස්තානයේ අල්-කයිඩා ත්‍රස්තවාදී පුහුණු කඳවුරුවලට එරෙහිව ප්‍රහාර ආරම්භ කළේය.

2001 සරත් ඍතුවේ ඉදිරිපත් කළ තවත් ලේඛනයක් තිබිණ. ඇමරිකානු ආරක්ෂක නියෝජ්‍ය ලේකම් ‘පෝල් වුල්ෆොවිට්ස්’ මෙම සංදේශය ඔහුගේ ප්‍රධානියා වන ආරක්ෂක ලේකම් ‘ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ්’ සඳහා නිර්මාණය කළ එකකි. එය 9/11 සමඟ කිසිදු සම්බන්ධයක් නැති රටක් වන ඉරාකය ගැනය. හමුදා ජෙනරාල්වරු හමුවීමට පෙර රම්ස්ෆෙල්ඩ් ලේඛනය සමාලෝචනය කළේය. ඔහු එහි ඔහුගේ සටහන් තැබීය. මෙම හමුදා නායකයින් කණ්ඩායම “ඉරාකයේ ඒකාධිපතියා වන සදාම් හුසේන්ගේ හිස ගසා දමා, රජය පෙරළා දැමීමට අවස්ථාවක් ගොඩනැගීම” යනුවෙන් උපුටා දැක්වීය. එය, ඔවුන්ට තවදුරටත් ප්‍රයෝජනවත් නොවූ රජයක් සඳහා යොමු වූයේ ඇයිද යන්න පිළිබඳව අපට අවබෝධයක් ලබා දෙයි. සදාම් හුසේන් ඇමරිකා එක්සත් ජනපදයට ප්‍රයෝජනවත් සේවා සපයන්නකු විය. විශේෂයෙන් ඔහු 80 දශකයේදී ඇමරිකාවේ සතුරෙකු වන ඉරානයට එරෙහිව යුද්ධයක් දියත් කළේය. නමුත්, සදාම් හුසේන් එම කලාපයේ කරදරකාරයෙකු බවට පත්වී සිටි අතර, ඇමරිකාවට පහසුවෙන් තෙල් ලබාගැනීමට තර්ජනයක් විය හැකි අස්ථාවරත්වයක් නිර්මාණය කර තිබිණ.

පළමු ගල්ෆ් යුද්ධයේදී ජනාධිපතිව සිටි බුෂ්ගේ පියා විසින් විසඳීමට අපොහොසත් වූ අවුලක් තිබිණ. එම යුද්ධයෙන් පසු ඉරාකය නිරායුධ කිරීමට නියමිතව තිබුණත් සදාම් එක්සත් ජාතීන්ගේ අවි පරීක්ෂක කණ්ඩායම් පන්නා දමා තිබුණි. නමුත් 9/11 න් පසු මේ අය ඉරාකය ආක්‍රමණය කිරීම ගැන කතා කිරීමට ප්‍රධාන හේතුව එය නොවූ අතර ඊටත් වඩා විශාල හේතුව වූයේ, ඇමරිකානු නායකයින්ට ගෝලීය සුපිරි බලවතා කවුදැයි ලෝකයට මතක් කරදීමට අවශ්‍ය වීමයි. ඔවුන්ගේම භූමියට කුරිරු ලෙස පහරදීමෙන් පසු එසේ කිරීමට අවශ්‍ය විය. ඉරාකය වැනි ඇමරිකාවට මිත්‍රශීලී නොවන පාලනයකට 9/11 පහරදීමෙන් පසුව තවදුරටත් ලෝකය තුළ සිටීමට ඉඩ දිය නොහැකිය. නැතහොත් නිව්යෝර්ක් වෙළෙඳ කුළුණු කඩා වැටීමෙන් පැය කිහිපයකට පසු, ආරක්ෂක ලේකම් රම්ස්ෆෙල්ඩ්ගේ වචනවලින් කිවහොත්, “අපි විශාල හා ශක්තිමත් බවත්, අපව තල්ලු කර දැමීමට නොහැකි බවත් පෙන්වීමට අපි වෙනත් තැනකට බෝම්බ දැමිය යුතුයි” යනුවෙන් සංදේශයේ උපුටා දැක්වීය. බුෂ් සහ ඔහුගේ උපදේශකයින් එය යථාර්ථයක් කිරීමට සැලැස්මක් සොයමින් සිටියහ.

නමුත් යුද්ධය ආරම්භ කරන්නේ කෙසේද? 9/11 හෝ ‘ඇන්ත්‍රැක්ස්’ විෂ වැනි ඇමරිකානුවන් බියවූ දෙයකට සදාම් හුසේන් බැඳ තැබිය හැකිද? නැතහොත් ඔවුන්ට මහා විනාශකාරී අවි පිළිබඳ කතාවක් පැවසිය හැකිද? එය වැදගත්ම සලකා බැලීම බව රම්ස්ෆීල්ඩ් අවසානයේ සටහන් කළේය. ඔවුන්ට බලපෑම් ව්‍යාපාරයක් අවශ්‍ය වනු ඇත. ඔවුන්ට යුද්ධය විකිණීමට අවශ්‍ය වනු ඇත. ඔවුන් එය ආරම්භ කළ යුත්තේ කවදාද? වහාම ආරම්භ කරන්නේ කෙසේද? “ඉරාකය ඇමරිකාව කෙරෙහි තම සතුරුකම සහ ත්‍රස්තවාදයට සහායදීම දිගටම කරගෙන යයි” යනුවෙන්  මාස තුනකට පසු, ජනාධිපතිවරයා ලෝකයට කියා සිටියේය. “යහපතට සහ නපුරට එරෙහි ගෝලීය සටනේදී, ඉරාකය යනු ඇමරිකාව විරුද්ධ විය යුතු නපුරු රටවල් සමූහයකින් එකක්” බවත් ජනාධිපතිවරයා තවදුරටත් කීවේය. 

 2002 ගිම්හානය වන විට, බුෂ්ගේ උපදේශකයින් විසින් පතුරුවන ලද මෙම අදහස ඇමරිකාවේ නිල ප්‍රතිපත්තියක් දක්වා වර්ධනය වෙමින් පැවතුණි. යුද්ධය විකිණීම සඳහා වූ එක්සත් ජනපදය සියතින් සකසන ලද බලපෑම් ව්‍යාපාරය පූර්ණ ලෙස ක්‍රියාත්මක වෙමින් තිබිණ. සදාම් හුසේන් සතුව මහා විනාශකාරී අවි ඇති බවට දැන් සැකයක් නැත. විනාශකාරී අවි සංවර්ධනය කිරීම සඳහා ඉරාක පාලන තන්ත්‍රයට නිදහස තිබේද? ඔවුන් සතුව මහා විනාශකාරී අවි ඇති බවට කිසිදු විවාදයක් දැන් නොමැත. වොෂින්ටනයේ CIA නිලධාරීන් හමුවී,  MI6 හි ප්‍රධානියා අගමැති ටෝනි බ්ලෙයාර්ට ඔහුගේ නිවසේදී පැවසුවේ මෙයයි. ආකල්පවල ප්‍රත්‍යක්ෂ වෙනසක් සිදුවී ඇත. ඇමරිකා එක්සත් ජනපදය ඉරාකය ආක්‍රමණය කිරීම දැන් නොවැළැක්විය හැකි දෙයක් ලෙස සලකනු ලැබේ. ඔවුන් දැන් බුද්ධි තොරතුරු නිවැරදිව සකස්කරමින් සිටී.

ඔවුන් ගෙන තිබූ තීරණයක් වටා, එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ වැඩ කිරීමට ඇමරිකාව සැලසුම් කර නොතිබූ බැවින්, ඔවුන්ට ඉරාකයේ ‘සමූහ නාශක අවි’ පරීක්ෂා කිරීම් හෝ හමුදා බලය යෙදවීම සඳහා එක්සත් ජාතීන්ගේ අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය නොවීය. MI6 හි ප්‍රධානියා අගමැති බ්ලෙයාට පැවසූ බව ඉහත සංදේශයේ සටහන් කර තිබුණි. බුෂ් එවැනි ආක්‍රමණයක ප්‍රතිවිපාක ගැන ඇත්තටම එතරම් සිතන්නේ නැති බවද, නොවැළැක්විය හැකි දෙය නම් පාලන තන්ත්‍ර වෙනසක් නොවන බව සහ එය සමූහ විනාශකාරී අවි නිරායුධ කිරීමක් වන බවත්ය. ක්‍රියාකාරී බුද්ධි වැඩසටහනක් ඇති පෘථිවියේ ඕනෑම රටක් ඉරාකයේ මහා විනාශකාරී අවි ඇති බව විශ්වාස කළහ. මන්ද, මෙම යුද්ධය විකුණන්න යනවා නම්, ඇමරිකානු මහජනතාවට පමණක් නොව ජාත්‍යන්තර ප්‍රජාවටද ඒත්තු ගැන්විය යුතු බව ඔවුන් දැනගෙන හිටියහ.

අවධානය යොමු කළ යුතු ප්‍රධාන කරුණු දෙකක් පිළිබඳව ඔවුන්ගේ කතාවේ එකඟ වී ඇති බව පැහැදිලිය. ඉරාකය සතුව සමූල ඝාතක අවි ඇති බව සහ ඔවුන් 9/11 ප්‍රහාරයේ මහා මොළකරුවන් සමඟ ද කටයුතු කළ බවත්ය. වැඩි කල් නොගොස්ම, බුෂ් සහ ඔහුගේ සගයින් තම යුද්ධය විකිණීම සඳහා ඔවුන්ගේ බලපෑම් ව්‍යාපාරය වේගවත් කළහ. ඉරාකය අල්-කයිඩා සාමාජිකයින්ට බෝම්බ සෑදීම, විෂ සහ මාරාන්තික වායු සැපයීම, අවි පුහුණුවීම් ලබාදීම කර ඇති බවත්, ඇමරිකානු ජනතාවට ප්‍රකාශ කළහ. ඉරාකය සතුව ‘සමූහ විනාශකාරී අවි’ (WMD) ඇති බවට ප්‍රකාශ කළ නමුත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය එකඟ වී තිබුණේ ඉරාකයට WMD වැඩසටහනක් නොමැති බවටයි. නමුත් සරලව කිවහොත්, සදාම් හුසේන් සතුව දැන් සමූල ඝාතක අවි ඇති බවට කිසිදු සැකයක් නැති බවට විශ්වාසයක් ඇති කෙරුණි. “ඔහු ඒවා අපගේ මිතුරන්ට එරෙහිව, අපගේ සගයින්ට එරෙහිව සහ අපට එරෙහිව භාවිතා කිරීමට රැස් කරමින් සිටියි. ඉරාකය ත්‍රස්තවාදීන්ට රැකවරණය ලබා දී ඇති බවට නිශ්චිතය. අල්-කයිඩා ත්‍රස්තවාදියෙකු පැන ගොස් ඉරාකයේ සිටින බව දන්නා කරුණකි. ඉරාකය න්‍යෂ්ටික අවි ලබා ගැනීමට කටයුතු කරමින් සිටි බව නිශ්චිතය.  ඉරාකයේ රාජ්‍ය මාධ්‍ය සදාම් හුසේන් සහ ඔහුගේ න්‍යෂ්ටික විද්‍යාඥයින් අතර බොහෝ හමුවීම් වාර්තා කර ඇත”. මෙම කතා අඩුවක් නැතිව වැඩ කළේය.

2002 සරත් සමය වන විට, ඇමරිකානුවන් බහුතරයක් ඉරාකය ආක්‍රමණය කිරීමට පක්ෂව සිටියහ. ඇමරිකානු තීරණයට ගැලපෙන පරිදි තම කරුණු සහ ඔවුන්ගේ බුද්ධි තොරතුරු සකස් කරමින් සිටින බව ඔවුන් දැන සිටියෝය. නමුත් එක් ගැටලුවක් තිබුණි. එනම් මෙම ප්‍රකාශ සියල්ලම බොරු බවයි. අල්-කයිඩා සමඟ ඉරාකයේ සම්බන්ධතා ඇතැයි කියනු ලබන්නේ, “නිශ්චිත තොරතුරු” නොමැති සාක්ෂියක් නොමැති සහ ප්‍රශ්න කරන්නන් නොමඟ යැවීමට හිතාමතාම කළ ප්‍රබන්ධයකි. බුෂ් සහ ඔහුගේ සගයන් මෙය දැන සිටියහ. 2002 සැප්තැම්බර් මාසයේදී ඉරාකයේ WMD සඳහා සැබෑ සාක්ෂි මොනවාදැයි තක්සේරු කරන ලදී. වාර්තාව කම්පනයක් ඇති කළේය. සදාම් සතුව WMD ඇති බවට නිගමනය කර තිබුණි. එහි ” සාක්ෂි වලට වඩා, විශ්ලේෂණාත්මක උපකල්පන සහ විනිශ්චයන් මත දැඩි ලෙස විශ්වාසය තබා ඇත” යනුවෙන් සඳහන් විය. එය අනුමානය පදනම්වූ වචන සලාදයකි. න්‍යෂ්ටික අවි ආශ්‍රිත පහසුකම් පිළිබඳව ඔවුන් සතුව ස්ථිර කිසිවක් නොතිබූ බවත්, සදාම් හුසේන් රජය සතුව ජීව විද්‍යාත්මක අවි නිෂ්පාදනය කරන හෝ පරීක්ෂා කරන කිසිදු පහසුකම් ඔවුන් නොදුටු බවත් වාර්තාව තවදුරටත් පැවසීය. එබැවින් ඇමරිකාව, ඉරාකය ආක්‍රමණය කළ යුත්තේ මන්දැයි, කතාවට සාක්ෂි නොමැති බව දැන් පැහැදිලිය. එහෙත් මෙය දැනගත් පසුත්, ඔවුන් ඇමරිකානු ජනතාවට ඒත්තු ගැන්වූ මුල් කතාවම අලෙවි කරමින් සිටියහ. “කිසිදු සැකයක් නැත, සදාම්ට න්‍යෂ්ටික අවියක් ලබාගැනීමට අවශ්‍යයි. ඒ සඳහා ඔහුට යම් ධාරිතාවක් තිබේ. අපේ රටට එරෙහිව තර්ජන ඇති වන ඕනෑම තැනක, අපි ප්‍රතිචාර දක්වන්නෙමුයි” යනු පණිවිඩය විය.

ජනාධිපති බුෂ් ඉරාකය ආක්‍රමණය කිරීමට තමාට බලය ලබා දෙන ලෙස කොංග්‍රසයෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී, ඊට ප්‍රතිචාර වශයෙන්, සෙනෙට් නායකයින් වහාම ජාතික බුද්ධි තොරතුරු ඉල්ලා සිටියහ. මෙය බුෂ් සහ ඔහුගේ සගයින්ට ප්‍රශ්නයක් වූ බැවින්, ඔහු සහ සීඅයිඒ සංවිධානය ඔවුන්ගේ කතාවට ගැලපෙන අතිශයින් සංක්ෂිප්ත වාර්තාවක්, 2002 ඔක්තෝම්බර් මාසයේදී නිකුත් කළේය. “ඉරාකය වැඩි වැඩියෙන් WMD ගොඩනගමින් සිටින බවත්, ඔවුන් සතුව රසායනික හා ජීව විද්‍යාත්මක අවි ඇති බවත්, මෙම දශකය තුළ ඔවුන් සතුව න්‍යෂ්ටික අවියක් ඇති බවත්” එයින් කියා තිබුණි. කොංග්‍රස් නායකයින්, මෙයින් ගල් ගැසුණු බවක් දක්නට ලැබිණ. ඉරාකයේ භයානක ආයුධ ඇති බවත්, ඔවුන්ට තවත් ලබාගැනීමට අවශ්‍ය බවත් පැවසීමට මුළු බුද්ධි ප්‍රජාවම එකට එකතු වූයේ මෙහිදීය. “සදාම් හුසේන් භීෂණයේ තද රතු පාට පරිච්ඡේදයක් නිර්මාණයකර ඇත. එකම වගකිවයුතු විකල්පය වන්නේ ඇමරිකානුවන් මියයාමට පෙර මෙම තර්ජනයට මුහුණදීමයි.”  ඊට ඩිමොක්‍රටික් හෝ රිපබ්ලිකන් පක්ෂ අතර මත ගැටුමක් ඇති නොවිණ. එබැවින් එම මාසයේම, මෙම වාර්තාව සහ සියලු ප්‍රසිද්ධ කථා පදනම්ව, කොන්ග්‍රසය යුද්ධයට කොළ එළියක් දැල්වීය. නමුත් මෙම ජාතික බුද්ධි ඇස්තමේන්තුව දෝෂ සහිත බොරුවක් විය. ඔවුන්ගේ වාර්තාව 1998 න් පසු කිසිවක් මත පදනම් නොවූ අතර, ඉතා පැරණි බුද්ධි තොරතුරු භාවිතාකර තිබිණ. නමුත් අවසාන බාධකයක් තිබුණි. ඒ ජාත්‍යන්තර ප්‍රජාවයි. එනම් එක්සත් ජාතීන්ගේ ක්‍රියාවලියට මුහුණදීමට සිදුවන බවයි. 2002 නොවැම්බර් මාසය, ඉරාකය සහ ඇමරිකාව අතර වැඩිවන ආතතීන්ට ප්‍රතිචාර වශයෙන්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය 1441 යෝජනාව සම්මත කළේය. එය ඉරාකයේ ආයුධ පරීක්ෂාවන්ට අනුකූලවීමට අවසාන අවස්ථාවක් ලබා දීම සඳහා අදහස් කරන ලද පියවරක් වූ අතර එමඟින් “ඔවුන් සම්පූර්ණයෙන්ම නිරායුධ කර ඇති බවත්, ඔවුන් සතුව මහා විනාශකාරී අවි නොමැති බවත්” ලෝකයට පෙන්වීය.

ජනාධිපති බුෂ් සහ ඔහුගේ සගයන් මෙය අවස්ථාවක් ලෙස දුටුවේය. මෙම යෝජනාවෙන් ඇඟවුණේ ඔවුන් රට ආක්‍රමණය කිරීම යුක්තිසහගත වන බවත්, ඔවුන්ගේ දිගුකාලීන අපේක්ෂිත යුද්ධය දිගටම පවතින බවත්ය. නමුත් ඔවුන්ට ගැටලුවක් තිබුණි. එනම් ඉරාකය සහ සදාම් හුසේන් ආයුධ පරීක්ෂණවලට කැමති වීමයි.

මාස හතරක් පුරාවට එක්සත් ජාතීන්ගේ අවි පරීක්ෂකවරු ඉහළ සිට පහළට ඉරාකය සෝදිසි කළහ. ඔවුන් මෙහෙයවනු ලැබුවේ ‘ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ’ හිටපු ප්‍රධානියා වූ ‘හාන්ස් බ්ලික්ස්’ විසිනි. ඔවුන් ස්ථාන 500 කට අධික සංඛ්‍යාවක පරීක්ෂණ 900 කට අධික සංඛ්‍යාවක් සිදුකළ අතර ඔවුන්ට කිසිවක් හමු නොවීය. WMD නැත. ජීව විද්‍යාත්මක අවි නැත. න්‍යෂ්ටික අවි වැඩසටහන් නොමැත. සමස්තයක් වශයෙන්, ඉරාකය තරමක් හොඳින් සහයෝගයෙන් කටයුතු කර ඇත. පරීක්ෂා කිරීමට අවශ්‍ය සියලුම ස්ථාන, විශ්ව විද්‍යාල, හමුදා කඳවුරු, ජනාධිපති යටතේ වන ස්ථාන සහ පෞද්ගලික නිවාස වෙත පවා ප්‍රවේශය ලබා දී ඇත. හාන්ස් බ්ලික්ස් වැදගත් දේවල් දෙකක් සොයා ගත්තේය. පළමුව, එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන පරිදි ඵලදායී පරාසයක් ඇති බව පවසන බැලස්ටික් මිසයිල කිහිපයක් ඔවුන් සොයා ගත් අතර ඒවා නීති විරෝධී කළ බැවින් ඒවා ඉරාකය විසින් විනාශකළ යුතු ඒවා විය. දෙවනුව, ඉරාක පාලනය ගණන් පෙන්විය නොහැකි යැයි පැවසූ සමහර රසායනික අවි තිබුණිදැයි බ්ලික්ස් සැක කළේය. මෙයින් අදහස් කළේ, ඔවුන් සතුව මෙම ආයුධ තිබිය හැකි බවත්, එහි තත්ත්වය ගණනය කිරීමට ඔවුන්ට වැඩි කාලයක් අවශ්‍ය බවත්ය. නමුත් මෙය වනාහි, බුෂ්ගේ කණ්ඩායමට ඔවුන්ගේ ආක්‍රමණය සාධාරණීකරණය කිරීමට අවශ්‍ය වූ දෙය විය.

ඔවුන්, ඔවුන්ගේ වඩාත්ම කුප්‍රකට කැබිනට් සාමාජික රාජ්‍ය ලේකම් ‘කොලින් පවෙල්’ එක්සත් ජාතීන්ගේ සංවිධානයට යැවීය. ඔහු පැමිණියේ ජංගම අවි පහසුකම් යැයි ඔහු පවසන දේවල ඡායාරූපද රැගෙනය. සදාම් හුසේන් සහ ඔහුගේ පාලනය තවත් මහා විනාශකාරී අවි නිෂ්පාදනය කිරීමට දරන උත්සාහයන් සඟවමින් සිටින බවත්, ඉරාක ජාතිකයන් තම අවි සඟවාගෙන සිටින බව ඔප්පු කරන හඬපටි ඔහු වාදනය කළේය. ඉන්පසු ඔහු පවසන්නේ “ඉරාකය නිරායුධ කිරීමට පැවසූ එක්සත් ජාතීන්ගේ යෝජනාව උල්ලංඝනය කළ බවට මෙය ස්ථිර සාක්ෂියක්” බවයි. එක්සත් ජාතීන්ගේ අවි පරීක්ෂකවරුන් ඔවුන්ගේ සිය ගණනක් පරීක්ෂා කිරීම්වලින් සොයාගත් දෙයට මෙය සම්පූර්ණයෙන්ම පටහැනිය. ඔවුන් එම ක්‍රියාවලිය බුල්ඩෝසර් කර, ආක්‍රමණය කිරීමට ඔවුන්ට සාධාරණ අයිතියක් ඇති බව පැවසූහ. “අපගේ සගයන්ට, අපගේ යෝජනා ක්‍රියාත්මක වන බව සහතික කිරීමට අපට බැඳීමක් ඇත. ඔවුන් ඇමරිකානු මහජනතාවගේ සහයෝගය ලබාගෙන ඇත. අපගේ ජීවන රටාව අවදානමට ලක්කරන කුරිරුකම් සහ ඒකාධිපතිත්වයන්ට සහ ත්‍රස්තවාදීන්ට අපි මුහුණ දෙන බව පෙන්වීමට මේ, මෙම සභාවට දී ඇති කාලයයි”. බුෂ් පාලනය එක්සත් ජාතීන්ගේ ක්‍රියාවලිය අතහැර දැමීය. “මගේ සෙසු පුරවැසියන්, ඇමරිකානු සහ සන්ධාන හමුදා ඉරාකය නිරායුධ කිරීමට, එහි ජනතාව නිදහස් කිරීමට සහ ලෝකය බරපතළ අනතුරකින් ආරක්ෂා කිරීමට හමුදා මෙහෙයුම්වල මුල් අවධියේ සිටිති. යුද්ධයේ සම්මුතීන් හෝ සදාචාරයේ නීති නොසලකා හරින සතුරෙකුට ඇමරිකාව මුහුණ දෙයි.” යනුවෙන් බුෂ් ප්‍රකාශ කළේය.

බුෂ්ගේ යුද්ධය, ඉරාක ජාතිකයන් ලක්ෂ පනහක ජීවිත සහ ඔවුන්ගේ රට වෙනුවෙන් සටන් කළ තවත් දහස් ගණනකගේ ජීවිත බිලිගත්තේය. ඉරාකය අත්පත් කරගෙන සිටි දශකයක කාලය තුළ කිසිදු WMD ආයුධයක්, න්‍යෂ්ටික පහසුකම් හෝ ජංගම අවි විද්‍යාගාර කිසිවක් හමු නොවීය .

ආක්‍රමණයෙන් පසු, එක්සත් ජාතීන්ගේ පරීක්ෂකවරුන්ට ඔවුන්ගේ සෙවීම් කටයුතු සඳහා නැවත රට තුළට පැමිණීමට ඇමරිකාව කිසිවිටෙකත් ඉඩ දුන්නේ නැත. ඉරාක පාලනය අල්-කයිඩා හෝ ඇන්ත්‍රැක්ස් සමඟ සම්බන්ධ කිරීමට කිසි විටෙකත් ක්‍රමයක් ඇමරිකාව සොයාගත්තේ නැත. මෙම යුද්ධය ජාත්‍යන්තර ප්‍රජාවට අලෙවි කිරීමේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ රාජ්‍ය ලේකම් කොලින් පවෙල් පසුව පැවසුවේ යුද්ධය ආරම්භ කිරීමේදී තමා කළ කාර්යභාරය ගැන තමා කණගාටු වන බවයි. “විවිධ මූලාශ්‍රවලින් මා ඉදිරිපත් කළ සමහර තොරතුරු වැරදිවීම ගැන මම බෙහෙවින් කණගාටු වෙමි.” යැයිද පවසා තිබිණ.

මෙම නායකයින්ගේ හදවතේ සහ මනසෙහි තිබුණේ කුමක්ද? ඔවුන් තමන්ගේම බොරු සැබවින්ම විශ්වාස කළාද? ඔවුන් ගත් තේරීම්වලදී ඔවුන්ට යුක්ති සහගත බවක් දැනුණාද? යන්න අපට කිසිදා දැනගත නොහැක. නමුත් මෙම කතාවෙන් අපට ඉගෙනගත හැකි දෙය නම්, කිසිවෙකු බලා නොසිටින බව සිතා, ඇති තරම් බියකිරීමෙන් සහ ඇති තරම් රැවටීමෙන්, ඔබට මුළු සමාජයක්ම ප්‍රකෝප නොකරන ලද ⁣යුද්ධයකට ගෙන යා හැක්කේ කෙසේද? යන්නයි.

එම ක්‍රියාවලිය තුළ ඇමරිකාව හා යුරෝපා සගයින් ඉතිහාසයේ ගමන් මග වෙනස් කළහ. ලෝකය ආර්ථික අවපාතයක ඇද දැමූහ. ශිෂ්ට සම්පන්න ලෝකය, පෙර නොවූ විරූ අනතුරුවලට මුහුණදීම තවමත් අවසන් වී නොමැත.

ජයන්ත වැලිවිට

(දේශපාලන – ආර්ථික විමර්ශකයෙකි. මොස්කව්හි පැට්‍රිස් ලුමුම්බා ජනතා මිත්‍රත්ව සරසවියේ, ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිධරයෙකි.)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles