Thursday, August 21, 2025
spot_imgspot_imgspot_img

Top 5 This Week

spot_img

Related News

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේ ඇති ගැටලු මොනවාද ?

(ජෙගන් ගනේෂන්)

වසරකට අධික කාලයක් නිල කාලය අවසන්ව පැවැති පළාත් පාලන ආයතන 337ක් සඳහා වන මැතිවරණය පසුගිය මැයි මස 09 වැනිදා පවත්වා මේ වනවිට මාස තුනක් නිමාවී ඇත. එහිදී ප්‍රාදේශීය සභා 274, මහනගර සභා 27ක් සහ නගර සභා 36ක් වෙනුවෙන් ඡන්ද විමසීමක් සිදු කළ අතර ඊට දේශපාලන පක්ෂවලින් සහ ස්වාධීන කණ්ඩායම්වලින් අපේක්ෂකයෝ අටදහසකට වැඩි පිරිසක් ඉදිරිපත් වූ අතර ඉන් පළාත් පාලන ආයතන 161ක බහුතර බලය හිමි කරගැනීමට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සමත්විය.

ඒ අනුව ආයතන 178ක බහුතර බලය හිමි කරගැනීමට කිසිදු දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම් සමත් නොවිය. ඒ හේතුවෙන් තවදුරටත් පළාත් පාලන ආයතන කිහිපයක බලය පිහිටුවීමට නොහැකිවී ඇත. ඒ ඒ පළාත් පාලන ආයතනවල ගණපූර්ණය නොමැතිවීම, අධිකරණමය කටයුතු සහ කාන්තා නියෝජනය පිළිබඳ ගැටලු ඊට ප්‍රධානතම හේතුව වේ. එමෙන්ම බලය පිහිටුවා ඇති සභාවල ඇතැම් මන්ත්‍රීවරුන් පක්ෂ තීරණයට එරෙහිව කටයුතු කිරීම හේතුවෙන් ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා ඇති අතර ඒ හේතුවෙන් එම මන්ත්‍රීවරුන් රැස්වීම්වලට සහභාගී නොවීම හේතුවෙන් සභාවේ කටයුතු අඩපණ වී ඇති ආකාරයක් ද දැකගත හැකිව පවතී.

කිසිදු දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට බහුතර බලය ලබාගැනීමට නොහැකි වූ පළාත් පාලන ආයතනවල බලය තහවුරු කර දීම පළාත් පාලන කොමසාරිස්වරුන් හමුවේ ඇති ප්‍රබල අභියෝගයකි. ඒ, අදාළ පළාත් පාලන ආයතනවලට තේරී පත් වූ මන්ත්‍රීවරුන් මුදලට අලෙවිවීම්, පැහැරගෙන යාම්, රඳවා තබාගැනීම් වැනි සිදුවීම් වාර්තාවීම හේතුවෙනි. මන්ත්‍රීවරුන් පිරිසක් රඳවාගැනීම සිදුවීමක් මතුගම ප්‍රදේශයෙන් වාර්තා විය. සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා තමන් පක්ෂයෙන් සභාවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් රඳවාගැනීම සිද්ධිය සමාජය තුළ දැඩි ආන්දෝලනයක් ඇති කිරීමට සමත් විය. සමගි ජනබලවේගයට බහුතර බලය හිමිව තිබූ ප්‍රාදේශීය සභා හතරක බලය බස්නාහිර පළාත් කොමසාරිස්වරිය ජාතික ජනබලවේගයට ලබාදීම හේතුවෙන් මතුගම සභාවට තේරී පත් වූ මන්ත්‍රීවරුන්ව තමන් රඳවා ගැනීමට කටයුතු කළ බව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ජගත් විතාන මහතා පැවසුවේය.

“අපිට බහුතරය තිබුණ ප්‍රාදේශීය සභාව 04ක කොමසාරිස්තුමියවත් හවුල් කරගෙන මාලිමාව අපෙන් උදුර ගත්තා. අපිට එකතු වෙන්න හිටපු මන්ත්‍රීවරුන් දෙන්නෙක් තුන්දෙනෙක්ව සල්ලිවලට ගත්තා. මතුගමදී අපේ දෙන්නෙක් තුන්දෙනෙක් හරි යයි කියලා සැකයක් ආවා නිසා අපි හැමෝම එක තැනකට රැස්වෙලා හිටියා. ඊට පස්සේ සභාව පටන් දවසේ රැස්වීමට පයින් යන්න තීරණය කළා. හැමෝටම බහුතරය අපිට තියෙන්නේ කියලා පෙන්වන්න තමයි පයින් ගියේ.”

ජූලි මාසය වනවිට පළාත් පාලන ආයතන පනකට අධික සංඛ්‍යාවක බලය පිහිටුවීමට නොහැකි වූ බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය, ආචාර්ය චන්දන අබේරත්න මහතා ජූලි මස 16 වැනිදා පළ වූ ලංකාදීප පුවත්පතට අදහස් පළ කරමින් ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් මේ වනවිට විනාතවිල්ලුව, ආනමඩුව සහ සීතාවක යන ප්‍රාදේශීය සභා හැර සෙසු සභාවල බලය පිහිටුවා ඇති බව රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා පැවසීය.

“වනාතවිල්ලුවේ ප්‍රශ්නය තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නම් කළ යුතු කාන්තා නියෝජනයට මැතිවරණ කොමිෂන් සභාවෙන් ලද නියෝගය නැත්නම් ඉල්ලීමට ඔවුන් එකඟ නොවුණ එක. ඔවුන් ලබා දිය යුතු කාන්තා නියෝජනයට වඩා දෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලුවා කියලයි පොදුජන පෙරමුණ කියන්නේ. මේ ගැන තීරණය කරන්න අභියාචනාධිකරණය පසුගිය 31 වැනිදා රැස් වුණා තවත් දිනයක් ඔවුන් යෝජනා කරලා තිබෙනවා. ඉදිරි දිනකදී අභියාචනාධිකරණය මගින් ඒ නඩුව විමසයි.”

මේ අතර පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට නොහැකිවී ඇත්තේ, පවතින මැතිවරණ ක්‍රමය දෝෂ සහිතවීමෙන් බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි. ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණවලදී සභාපති සහ නගරාධිපති ධුර සඳහා පුද්ගලයින් පත් කරගැනීමේ ක්‍රමවේදය සංශෝධනය කළ යුතු බව නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සඳහා වන කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ මනාස් මකින් මහතා සඳහන් කළේය.

“…සභාව පිහිටුවන එකට වඩා අමාරුම දෙයක් තමයි මැතිවරණය පවත්වන එක. මැතිවරණයකට තමයි ලොකු මහන්සියක් ගන්නේ. මුදල් වගේම කාලයත් විශාල ලෙස වැය කරනවා. මැතිවරණයෙන් නියෝජිතයෙක් පත් වුණායින් පස්සේ සභාවක සභාපති, නගාරාධිපති තෝරන්න මෙච්චර කාලයක් ගන්නවා කියන එක විශාල ගැටලුවක්. ඒ නිසා ඉදිරියේදී පළාත් පාලන මැතිවරණ පනත සංශෝධනය කරන්න වෙනවා. ඒක කරනකොට සභාපති, නගාරාධිපති තෝරගන්න ක්‍රමය මේ මැතිවරණය තුළින්ම සිදු කළොත් හොඳයි. මොකද පළාත් පාලන කොමසාරිස්වරුන් බලය පිහිටුවන්න යනකොට අපි දැක්කා සමහරු ප්‍රශ්න ඇති කළා. ඉතිං මේ වගේ ගැටලු තියෙන නිසා සංශෝධනයක් අනිවාර්යයෙන්ම කෙරෙන්න අවශ්‍යයි…”

පළාත් පාලන ආයතන මැතිවරණය පවත්වා ඇති පසුබිමක මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කළ යුතු බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා පැවසීය.

පළාත් පාලන ඡන්ද විමසීම් අඥාපනත 262 අධිකාරියට අනුව පළාත් පාලන කොමසාරිස්වරුන් හඳුන්වන්‌නේ මුලසුන දරන නිලධරයා ලෙස. නමුත් සියයට 50ක් නොමැති අවස්ථාවලදී එය තර්ජනාත්මක අවස්ථාවක් වුණා. මේකේ තියෙන අවුල තමයි පළාත් පාලන ආයතන ප්‍රධානියා තෝරාගැනීම සඳහා පවත්වන ඡන්ද විමසීම විවෘත ද රහස් ද වෙන්න ඔනේ කියන කාරණය පනතේ තියෙනවා. නමුත් තෝරාගන්න ක්‍රමය මොකක්ද කියලා පනත නිහඬයි. ඒ නිසා තමයි අභිමතය ක්‍රියාත්මක කිරීමට සිදුවුණේ. ඒ නිසා ඡන්ද ක්‍රමය තුළම ආයතන ප්‍රධානීන් තෝරගන්න අවශ්‍යයි කියලා අපි හිතනවා.

මෙරට පවතින ප්‍රධාන මැතිවරණ හතරෙන් දැනට වඩාත් සංකීර්ණ මැතිවරණ ක්‍රමයක් ලෙස පළාත් පාලන මැතිවරණ ක්‍රමය හඳුන්වා දිය හැකිය. 2012 අංක 22 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත, 2016 අංක 1 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත හා 2017 අංක 16 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත යන පනත්වල මෙම පළාත් පාලන මැතිවරණයට අදාළ කරුණු සඳහන්වේ. යම් පළාත් පාලන බල ප්‍රදේශයක කොට්ඨාස මට්ටමින් සහ පොදු ලේඛනයකින් මන්ත්‍රීවරුන් තෝරා පත් කරගැනීම මිශ්‍ර සමානුපාතික ක්‍රමය ලෙස හැඳින්වේ. ඒ අනුව කොට්ඨාස මට්ටමින් නියෝජිතයින් 60%ක් සහ සමානුපාතික පදනම යටතේ නියෝජිතයින් 40%ක් ද තෝරා ගැනෙයි. සීමා නීර්ණය කොමිෂන් සභාව විසින් ජනගහණය, භූමි ප්‍රමාණය, ජන වාර්ගික පදනම යන කරුණු පිළිබඳව අවධානය යොමු කරමින් මේ වන විට දිවයිනේ සියලුම පළාත් පාලන ආයතන සඳහා අදාළ කොට්ඨාස මොනවාද යන්න පිළිබඳව තීරණය කර එම තීරණ 2015.08.21 දිනැති 1928/26 අංක දරන සහ 2017.02.17 දිනැති අංක 2006/44 දරන ගැසට් නිවේදන මගින් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව කේවල කොට්ඨාස සහ බහු කොට්ඨාස ලෙස පළාත් පාලන ආයතන බෙදා ඇති කොට්ඨාස වර්ගදෙකක්තිබේ. කේවල සභික කොට්ඨාස 4750ක්, සභිකයන් දෙදෙනෙකුගෙන් සමන්විත බහු කොට්ඨාස 165ක් සහ සභිකයන් තිදෙනෙකුගෙන් සමන්විත බහුකොට්ඨාස 04ක් ඇත.

කෙසේ වෙතත් කොට්ඨාස මට්ටමින් තේරීපත් වන මන්ත්‍රීධුරයක පුරප්පාඩුවක් ඇති වූවහොත් එය සම්පූර්ණ කිරීමට අතුරු මැතිවරණයක් පැවැත්වීමට නොහැකි බැවින් ඒ සඳහා සුදුසු ආදේශකයක් පක්ෂය විසින් නම් කළ යුතු බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා සඳහන් කළේය.

නිමාවට පත් වූ පළාත් පාලන මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ආසන 224ක බලයත්, සමගි ජන බලවේගයටත් ආසන 36ක බලයත්, ඉලංකෙයි තමිල් අරසු කච්චි ආසන 33ක් බලයත්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ආසන 07ක බලයත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ආසන 06ක බලයත්, ලංකා කම්කරු කොංග්‍රසය ආසන 03ක බලයත්, පොදුජන එක්සත් පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය ආසන 02ක බලයත් හා වෙනත් පක්ෂ ආසන 23ක බලයත් පිහිටුවීමට සමත්ව ඇත.

වසරකට අධික කාලයක් පළාත් පාලන ආයතන අක්‍රියව පැවැතීම හේතුවෙන් ජනතාව ගැටලු රැසකට මුහුණදී සිටියහ. මේ වනවිට මැතිවරණය පවත්වා මාස තුනක් ඉක්මවා ඇති පසුබිමක තවදුරටත් සියලු පළාත් පාලන ආයතනවල බලය තහවුරු කිරීමට නොහැකිවීම කණාගටුවට කරුණකි. ඒ අනුව බලන කළ වත්මන් පළාත් පාලන මැතිවරණ ක්‍රමවේදයේ සංශෝධනය අත්‍යවශ්‍ය කරුණකි. විශේෂයෙන් පළාත් පාලන ආයතන ප්‍රධානීන් ජනතාව විසින් තෝරා ගැනීමේ ක්‍රමයක් හඳුන්වාදීම රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට පැවරෙන වගකීමක් වේ.

මේ අතර පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේ ඇති වන ගැටලු සහ ඒ්වා වළක්වා ගැනීමට ඉදිරියේදී සිදු කරනු ලබන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් විමසීමට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය, ආචාර්ය චන්දන අබේරත්න මහතා සහ අමාත්‍යංශ ලේකම්වරයා සම්බන්ධ කරගැනීමට සිදු කළ උත්සහය ව්‍යර්ථ විය. එලෙස සිදු කිරීමෙන් පෙනී යන්න ඔවුන් සුතව ද මෙම අර්බුදකාරී තත්ත්වයට පිළියමක් නොමැති බවය. ඒ අනුව මෙම අර්බුදය විසඳුම පවතින්නේ ද වත්මන් පාලකයන් සතුවය. ඔවුන් ඊට සුදුසු ප්‍රතිසංස්කරණ නුදුරේදී ඉදිරිපත් කරනු ඇතැයි අපේක්ෂා කරන්නෙමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles