කොළඹ: තොරතුරු දැනගැනීමේ අයිතිය (RTI) භාවිත කරමින් පුරවැසියන් ඉදිරිපත් කරන ඉල්ලීම් සඳහා තොරතුරු ලබාදීම ජනාධිපති, අගමැති සහ කථානායක කාර්යාල, පාර්ලිමේන්තුව ඇතුළු රජයේ ප්‍රධාන ආයතන නිසි පරිදි සිදු නොකරන බව වාර්තා වේ. සති අන්ත ලංකාදීප පුවත්පත විසින් කරන ලද විමර්ශනයකදී අනාවරණය වී ඇත්තේ ජූලි මාසයේදී කරන ලද තොරතුරු ඉල්ලීම් කිසිවකටත් මෙම ආයතන මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැති බවයි.
ජනාධිපති කාර්යාලය සහ අගමැති කාර්යාලය නිහඬයි
ලියුම්කරුවෙකු විසින් ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලය, පුද්ගලික උපදේශකවරුන්, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය සහ ‘කන්ටේනර් 329’ පිළිබඳ වාර්තාව වැනි තොරතුරු ඉල්ලා තිබුණද ඒවා මෙතෙක් ලබා දී නැත. එසේම අගමැතිවරියගේ කාර්ය මණ්ඩලය සහ වාහන වෙන්දේසිය පිළිබඳ තොරතුරු ද ලබා දී නොමැත.
කථානායක කාර්යාලය ප්‍රතික්ෂේප කරයි
කථානායකවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය පිළිබඳ තොරතුරු ඉල්ලීමක් කථානායකවරයාගේ වරප්‍රසාද අනුව හෙළි කළ නොහැකි බව පවසමින් ප්‍රතික්ෂේප කර තිබේ. කෙසේ වෙතත්, මීට පෙර අභියාචනාධිකරණය විසින් පාර්ලිමේන්තුවට ලබාදුන් තීන්දුවකින් (CA/RTI/0004/2021) පෙන්වා දී ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රටේ නීතියට අනුව කටයුතු කළ යුතු මහජන නියෝජිතයන් බවත්, ඔවුන් ජනතාවට වගකිව යුතු බවත්ය.
තොරතුරු කොමිසම අඩපණ වෙයි
තොරතුරු දැනගැනීමේ අයිතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන ආයතනය වන තොරතුරු කොමිෂන් සභාවේ කටයුතු ද මන්දගාමී වී ඇත. කොමිසමේ සාමාජිකයන් සම්පූර්ණ නොවීම මීට හේතුවයි. ව්‍යවස්ථාදායක සභාව විසින් හිස් වූ කොමසාරිස් ධුරයක් සඳහා එක් පුද්ගලයෙකුගේ නමක් අනුමත කර ජනාධිපතිවරයා වෙත යොමුකර සති දෙකකට වැඩි කාලයක් ගතවී තිබුණද, පත්කිරීම් මෙතෙක් සිදුකර නොමැත.
එමෙන්ම, මාස හයකට වැඩි කාලයක් තිස්සේ පුරප්පාඩු වී ඇති කොමිසමේ සභාපති ධුරය පත්කිරීමට ජනාධිපතිවරයා අපොහොසත් වී ඇති බවට චෝදනා එල්ල වේ. මේ නිසා ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට සඳහන් කරමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංසදය සහ දැයට සවිය සංවිධානය පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කර ඇත. තොරතුරු කොමිෂන් සභාව සභාපතිවරයෙකු නොමැතිවීම හේතුවෙන් තීන්දු ලබාදීම කල්දමන බවට චෝදනා කරමින් මාධ්‍යවේදී ආර්. බී. ජේ. සුරංග ඇතුළු පිරිසක් මානව හිමිකම් කොමිසම වෙත ද පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
තොරතුරු දැනගැනීමේ අයිතිය ශක්තිමත් කිරීමට සහ කොමිසමට අවශ්‍ය පත්කිරීම් කඩිනමින් සිදු කිරීමට පියවර ගන්නා ලෙස මාධ්‍ය සංවිධාන රැසක් ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා ඇත. මෙම තත්ත්වය, පුරවැසියාගේ තොරතුරු දැනගැනීමේ අයිතියට රජයේ උසස්ම ආයතනවලින්ම එල්ල වන බාධාවක් ලෙස විචාරකයෝ පෙන්වා දෙති.