ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය තමා වෙත ලබාදී ඇති බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා තිබේ.
හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ ලිපියට අනුව ඉහත ඉල්ලා අස්වීම 2025 ජුනි 20 වැනිදා සිට බලපැවැත්වෙන බවද මහ ලේකම්වරිය දන්වා තිබේ.
ඒ අනුව, දසවැනි පාර්ලිමේන්තුවේ (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ අසුන හිස්ව ඇති බව 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(5) වගන්තිය ප්‍රකාරව දැනුම් දෙන බවද මහ ලේකම්වරිය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත දන්වා තිබේ.
මේ අනුව පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා ජාතික ජන බලවේගය තුළ නම් දෙකක් යෝජනා වී ඇති බවට වාර්තා වේ.
ඒ පසුගිය මහා මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඉදිරිපත්ව පරාජයට පත්වූ විමල් කැටපේආරච්චි මහතා සහ මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඉදිරිපත්ව පරාජයට පත්වූ නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතායි.
කෙසේ නමුත් ජාතික ජන බලවේගයට සහය දක්වන විද්වතුන්ගේ අදහස වී ඇත්තේ එම බලවේගයට සහය දක්වන එක්සත් වාමාංශික පෙරමුණේ ලේකම් සහ ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික නීතිඥ ලාල් විජේනායක මහතා පාර්ලිමේන්තුව වෙත නම් කල යුතු බවයි.
අනතුරුව නීතිඥ ලාල් විජේනායක මහතා යටතේ නව ව්‍යවස්ථා සම්පාදන අමාත්‍යංශයක් ස්ථාපනය කර ‘පොහොසත් රටක්-ලස්සන ජිවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පොරොන්දු වූ පරිදි නව ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු බවයි.
කෙසේ නමුත් මේ පිළිබඳව අද දින අවසන් තීන්දුවක් ගනු ඇති බවට InfoSriLanka.lk වෙත වැඩිදුරටත් වාර්තා වේ.