Tuesday, July 1, 2025
spot_imgspot_imgspot_img

Top 5 This Week

spot_img

Related News

කොළඹ පුරපති තෝරන්න ගිහින් කොමසාරිස් වරිය කළ වැඩේ හරි ද?

කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම ඊයේ (16) දිනයේ පැවතී අතර එහිදී පැවතී මැතිවරණයෙන් කොළඹ මහනගර සභාවේ නගරාධිපතිවරයා ලෙස කැලී බල්තසාර් මහත්මිය ඡන්ද 61ක් ලබා තේරී පත්විය.

සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ රීසා සරූක් මහතාට ලැබී තිබුණේ ඡන්ද 54ක් පමණි.

කෙසේ වෙතත් පෙරේදා දිනයේ සමග ජන බලවේගය ඉදිරිපත් කරන අපේක්ෂකයාට සහාය පළ කරන අත්සන් හැට දෙකක ලේඛනයක් ඉදිරිපත් කිරීමට එම පක්ෂය කටයුතු කරන ලදී.

ඊයේ දිනයේදී විවෘත ඡන්ද විමසීමක් ඉල්ලමින් නාගරික කොමසාරිස්වරිය වෙත එම පත‍්‍රිකාව ඉදිරිපත් කළද ඡන්ද විමසීමේදී ඔවුන්ට ලබා ගැනීමට හැකි වූයේ ඡන්ද 54කි.

ඒ අනුව අත්සන් ලේඛනයේ තිබූ ඡන්ද අටක්ද ඔවුනට විපක්ෂව ලබාදී ඇත.

නගරාධිපති තෝරා පත්කර ගැනීම සඳහා රහස් ඡන්දයක් අනුව සිදුකරන්නේ ද? නැතිනම් විවෘත ඡන්ද විමසීමක් පවත්වන්නේ ද යන්න සම්බන්ධයෙන් සභාව උණුසුම් වූ අතර මෙහිදී සමගි ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය විසින් විවෘත ඡන්දයක් ඉල්ලා සිටි අතර විපක්ෂය කියා සිටියේ පළාත් කොමසාරිස්වරිය රහස් ඡන්දයකට ගියහොත් ඇයට එරෙහිව නීති ක්‍රියාමාර්ග ගන්නා බවකි.

කෙසේ නමුත් මන්ත්‍රීවරු 117 දෙනාම එකතු වී කොළඹ නගරය ගොඩගැනීමට කටයුතු කළ යුතු බව රහස් ඡන්දය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව කෙටි ප්‍රකාශයක් කරමින් කොළඹ නගරාධිපතිනිය වශයෙන් තේරී පත්වූ ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය සදහන් කළාය.

කොළඹ නගරාධිපතිවරයා තේරීමේ ඡන්ද විමසීමේදී පළාත් පාලන කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මිය රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ මාර්ගෝපදේශ අනුගමනය කොට නොමැති බව සජබ නියෝජිත වරුණ දීප්ත රාජපක්ෂ මහතා මාධ්‍ය හමුවක් අමතමින් පැවසීය.

ඒ මහතා කියා සිටියේ මේ සම්බන්ධයෙන් ඊයේ දින ආණ්ඩුවේ ප්‍රධාන පෙළේ ඇමැතිවරු, නියෝජ්‍ය ඇමැතිවරුන් රොස්මිඩ් පෙදෙසේ අංක 59 නිවසේදී රාජ්‍ය නිලධාරීන් කැදවා රහස් සාකච්ඡාවක් කැදවා තිබූ බවකි.

මේ අතර පළාත් පාලන ආයතනයක සමස්ත සභික ප්‍රමාණයෙන් 50%කට වැඩි ප්‍රමාණයක් කිසිදු දේශපාලන පක්ෂයක් හෝ ස්වාධින කණ්ඩායමක් විසින් ලබා නොමැති අවස්ථාවල දී සභාපති හා උපසභාපති තෝරන මාර්ගෝපදේශ පිළිබද පැහැදිලි උපදේශන සහ නිර්ණායක රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය 2025 නිකුත් කර ඇති බවත් විශේෂයෙන්ම මේ මාර්ගෝපදේශ අනුගමනය කරමින් රටේ ප්‍රදේශවල මේ කාර්යය නියමිත ආකාරයට ක්‍රියාත්මක වන අවස්ථාවල සමගි ජන බලවේගයට හා විපක්ෂයට සභා ගණනාවක බලය හිමි වූ බවත් මෙය දුටු වත්මන් රජය මේ වන විට බලපෑම් කරමින් මෙහි සදහන් මාර්ගෝපදේශ වෙනස් කර ක්‍රියාත්මක කිරිමට කටයුතු කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

මේ මාර්ගෝපදේශවල 7 වැනි පිටුවේ රහස් ඡන්දයක් හෝ විවෘත ඡන්දයක් පැවැත්වීම ගැන මත විමසන ආකාරය සදහන් බවත් එහි දී එක් එක් සභිකයාගේ නම අඩගසා විමසන ආකාරය ගැන සදහන්ව ඇති බවත් එසේ තිබියදී සමගි ජන බලවේගයත් විපක්ෂයත් මේ මාර්ගෝපදේශ අනුගමනය කිරිම තුළ ක්‍රියාත්මක කිරීම තුළ සභාවල බලය ගැනීම නිසා අත්තනෝමතික ලෙස මේ මාර්ගෝපදේශ වෙනස් කරන්නට බලධාරීන් ඒ ඒ ප්‍රදේශ භාර පළාත් පාලන කොමසාරිස්වරුන් කටයුතු කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ මාර්ගෝපදේශ ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කළ පළාත් පාලන කොමසාරිස්වරුන්ට ස්තූතිවන්ත වන බවත් කොළඹ නගර සභාවේ සභිකයන් 60ක් අත්සන් කර විවෘත ඡන්දයක් ඉල්ලා සිටින විට ඒ ඉල්ලීම පැහැර හරින්නේ කොහොමද කියා ගැටලුවක් ඇති බවත් ඒ මාර්ගෝපදේශ වෙනස් කර තමන්ට ඕන ඕන ආකාරයට වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට බලපෑම් කළ පාර්ශ්ව කවරේද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් මීට දින කිහිපයකට පෙර විමසූ අවස්ථාවේ පවා මේ මාර්ගෝපදේශ සලකන බවට පැවසූ නමුත් මේ මාර්ගෝපදේශ අමුඅමුවේ උල්ලංඝනය කර කොළඹ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන ගණනාවක කටයුතු කර ඇති බවත් එය ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

මේ මාර්ගෝපදේශවලින් බැහැරව කටයුතු කරන්නට ඉහළ තැනකින් බලපෑම් ආවාද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් අද වන විට ස්ථාන ගණනාවකදී මේ මාර්ගෝපදේශ පැහැර හැර ඇති බවත් එය ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කිරීමක් බවත් එක් ප්‍රදේශයක විවෘත ඡන්දයත් තවත් ප්‍රදේශයක රහස් ඡන්දයත් පැවැත්වීම නිසා මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවට එරෙහිව ගත යුතු සියලුම පියවර ගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මලිමාවත් මේ වනවිට දේශපාලන ඩීල් දැමීමට පටන් ගෙන ඇති බව කොළඹ නගර සභාවේ තනතුරු සදහා තෝරාපත්කරගැනීමට පැවැති රහස් ඡන්දයේදී පෙනෙන්නට ඇති බව පෙරටුගාමී පක්ෂයේ දුමින්ද නාගමුව මහතා පැවසීය.

එසේම ජාතික ජන බලවේගය පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසක් විසින් සිදුකළ පහරදීමක් හේතුවෙන් කොළඹ මහ නගර සභාව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ උළුවඩුගේ සඳමාලි මන්ත‍්‍රීවරිය බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති බව වාර්තාවෙයි.

මේ වන විට පහරදීමට ලක්වූ මන්ත්‍රීවරිය කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටියි. මේ සම්බන්ධව කොළඹ ජාතික රෝහලේ පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදුකර ඇති බවද වාර්තා වෙයි. වැඩිදුරටත් වාර්තා වන ආකාරයට උළුවඩුගේ සඳමාලි මන්ත්‍රීවරියගේ කාර්‍යාලය අසළදී මෙම දේශපාලන මැර ප්‍රහාරයට ගොදුරුව තිබේ.

පහරදීම සඳහා පැමිණි ජාතික ජනබලවේගය පක්ෂයේ ක්‍රියාකාරීන් සිය කාර්‍යාලය අසල රතිඤ්ඤා දමමින් කළහකාරී ලෙස හැසිරෙනු දැක මන්ත්‍රීවරිය ඒ බව සිය ජංගම දුරකථනයෙන් පටිගත කිරීමේදී මෙම ප්‍රහාරයට ලක්ව ඇත. එහිදී තමන්ට එල්ල කර මෘග ප්‍රහාරය සම්බන්ධව මන්ත්‍රීවරිය දක්වන අදහස් පහත වීඩියෝවේ දැක්වෙයි.

ජාතික ජනබලවේගය පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසකගේ සාමූහික පහරකෑමට ලක්වූ මන්ත්‍රීවරිය උදව් ඉල්ලා කෑගසා ඇති අතර ඒ අවස්ථාවේ ඇගේ සැමියා ඇතුලු අසල්වාසීන් කිහිපදෙනෙකු පැමිණ ඇති බවත් එහිදී අදාළ පිරිස ඔවුනටද පහරදී ඇති බවත් දැනගන්නට ඇත.

කෙසේවෙතත් පහරකෑම මධ්‍යයේ මාර්ගයේ පැමිණි රථයක සහායෙන් නාගරික මන්ත‍්‍රීවරිය රෝහල වෙත ගෙනයාමට කටයුතු කර තිබේ.

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව කොළඹ මහ නගර සභාවේ 117ක් වන සමස්ත සභික සංඛ්‍යාවෙන් සභික ධුර 48ක් ජාතික ජනබලවේගයට හිමි වූ අතර සමගි ජනබලවේගයට සභික ධුර 29ක් හිමිවුණි.

එක්සත් ජාතික පක්ෂයට සභික ධුර 13ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සභික ධුර 5ක් සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට සභික ධුර 4ක් සහ සර්වජන බලයට සභික ධුර 2ක් හිමි වු අතර සෙසු සභික ධුර සංඛ්‍යාව අනෙකුත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතර බෙදී ගියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles