සිය සේවා ස්ථානයේ කසළ බඳුනක ඊශායල් විරෝධී ස්ටිකරයක් ඇලවීමේ සිදුවීමකට අදාළව මොහොමඩ් රුෂ්ඩි නමැති තරුණයා ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාතැබීමෙන් ත්‍රස්ත විමර්ශනකොට්ඨාසය ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීන්දු කර ඇත.
ඒ අනුව, මෙම අත්අඩංගුවට ගැනීමෙන් හා රඳවා තැබීමෙන් මොහොමඩ් රුෂ්ඩිගේ භාෂණයේ ප්‍රකාශනයේ නිදහස, ආගමක් ඇදහීමට ඇති නිදහස, හෘද සාක්ෂියේ නිදහස, අත්තනෝමතික අත්අඩංගුවට ගැනීමෙන් හා රඳවා තබා ගැනීමෙන් වැළකීමේ නිදහස හා එහා මෙහා යාමේ ඇති නිදහස ඇතුළුව මානව හිමිකම් රැසක් උල්ලංඝණය කර ඇතැයි පවසමින් එම කොමිසම විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
මෙම සිදුවීම පාදක කරගෙන ත්‍රස්තවාදයට අදාළ වැරදි සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවීමේදී සාධාරණ සැකය යන්න තහවුරු වන නිර්ණායක ඇතුළත් මාර්ගෝපදේශ කඩිනමින් සකසන්නැයි මානව හිමිකම් කොමිසම පොලිස්පතිවරයාට නියෝග කර ඇත.
මූලික කරුණු නමයක් ඇතුළත් වන සේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ලබා දී ඇති මෙම නිර්දේශ 2025 ජූලි 15 වන දා පෙර ක්‍රියාත්මක කර ඒ සම්බන්ධයෙන් වූ වාර්තාවක් තමන්ට ලබා දෙන්නැයි ද එහි සඳහන් කර තිබේ.
ඊශ්‍රායාලය විසින් පලස්තීනයට එල්ල කරනු ලබන ප්‍රහාරවලින් සිදුවන මිනිස් ඝාතනවලට විරෝධය දක්වමින් කොම්පඤ්ඤ වීදිය සුපිරි සාප්පු සංකීර්ණයක ප්‍රවේශ ශාලාවේ කසල බඳුනක ස්ටිකරයක් ඇලවීමේ සිදුවීමට මොහොමඩ් රුෂ්ඩි අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය මාර්තු 22 වන දා ය.
ඉන්පසුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝගයක් ලබාගෙන ඔහු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ රඳවා ගනු ලැබීය.
මෙම අත්අඩංගුවට ගැනීම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට බරපතළ තර්ජනයක් බව කියමින් මාධ්‍ය හා සිවිල් සංවිධාන ඊට විරෝධය පළ කළේ ය.
මේ අතර යුද විරෝධී ස්ටිකරයක් ඇලවීමේ වරදට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පැමිණවීමකින් තොරව තමන්ගේම අත්සනින් දින 90 ක රැඳවුම් භාරයකට යටත් කොට සිටි මුස්ලිම් ජාතික තරුණයා කිසිදු අපරාධමය වරදක් සිදු කළ අයෙක් නොවේ යැයි ජනාධිපතිවරයාම පවසා තිබුණේ පසුගිය මැතිවරණ සමයේ නැගෙනහිර පලාතේ මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමිනි.
තමන් විසින්ම අත්සන් කළ රැඳවුම් නියෝගයෙන් පිළිබඳව සමන්තුරේ මුස්ලිම් ජනයා ඉදිරියේදී ජනාධිපති අනුර කුමාර, “රුෂ්ඩිගේ වරද නිවැරදි ” කොට තිබුණේ එසේය.
” ඒ තරුණයා ස්වයං අභිප්‍රේරණයකට ලක් වෙලා තිබුණා. අපි ඔහුව අත්අඩංගුවට ගත්තා. අරන් ඔහුගේ මුළු දේම අපි පරික්ෂාවට ලක් කළා,” යැයි ජනාධිපතිවරයා කියා සිටියේ තමන් යටතේ ඇති පොලීසියට චරිත සහතික ලබා දෙමිනි.
“අපි එම දෙමාපියන්ට ඒ තරුණයාව පෙන්නුවා. දෙමාපියෝ ස්තූතිවන්ත වුණා. ඒ විනාශයෙන් දරුවා බේරා ගත්ත එක ගැන. මේක වැරදි ද? ඒක වැරදි ද? ” දෑත් ඉදිරියට දමමින් හෙතෙම හැඟුම්බර විය.
කෙසේනමුත් ” ඒක අමුලික බොරුවක්. අම්මයි , තාත්තයි කිසිම වෙලාවක ජනාධිපතිවරයාට ස්තූති කරේ නෑ. ජනාධිපතිවරයාට නෙමෙයි අපි රජයේ කිසිම කෙනෙකුට ස්තූති කරනවා තියා ඒ කාවවත් මුණ ගැහුනෙත් නෑ,” යනුවෙන් පවසන්නේ රුෂිඩිගේ වැඩිමහල් සොයුරු මොහොමඩ් නසීම් ය.
“ජනාධිපති තුමා ඇයි මෙහෙම බොරු කියන්නේ? ඇයි අපි ආණ්ඩුවට හරි පොලීසියට හරි ස්තූති කරන්නේ? එහෙම කරනවා කියන්නෙම මල්ලි වැරදියි කියලා අපිම පිළිගන්න එකම නේද? මල්ලි වරදක් නෙමෙයි කෙරුවේ. එහෙනම් ඇයි අපි ජනාධිපතිතුමා හරි, පොලිසිය හරි එයාව බේරා ගත්තා කියලා ස්තූති කරන්නේ?” නසීම් දැඩිව පවසා සිටියේ, “අපි කිසිම වෙලාවක රජයේ කාවවත් මුණ ගැහිලා නැති වෙලාවක මෙහෙම ප්‍රසිද්ධියේ බොරු කියන්න ජනාධිපතිවරයාට හැකි දැයි?” පෙරලා විමසමිනි.