නීතිපති පාරින්ද රණසිංහ මහතා විසින් බටලන්ද කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා සිව් පුද්ගල කමිටුවක් පත් කර ඇත.
මෙම කමිටුවේ ප්‍රධානත්වය ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසූරිය මහතා විසින් දරනු ලබයි. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස්, රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජයනි වෑගඩපොල සහ රජයේ නීතීඥ ශක්ති ජාගොඩආරච්චි යන මහත්ම මහත්මීන් සෙසු සාමාජිකයින් ලෙස කටයුතු කරනු ඇත.
බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ ඇති සාක්ෂිවලින් අධිචෝදනා ගොනු කළ හැකිද යන්න සහ කාලාවරෝදය වූ වැරදි හඳුනා ගැනීම මෙම කමිටුවේ වගකීම වේ. තවදුරටත් විමර්ශනය කළ යුතු කරුණු වේ නම් ඒවා හඳුනා ගැනීම ද කමිටුවට පවරා ඇත.
ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි, බටලන්ද කොමිෂන් සභා වාර්තාව පසුගියදා ජනාධිපති කාර්යාලය විසින් නීතිපතිවරයා වෙත යොමු කරන ලදී. එම වාර්තාව පිළිබඳව ඉදිරි කටයුතු සිදු කිරීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
88/90 කාලසීමාවේ සිදුවීම් පිළිබඳව විමර්ශනය කළ බටලන්ද කොමිෂන් සභා වාර්තාව පිළිබඳව සංවාදයක් යළි මතුවූයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මාර්තු 6 වැනිදා අල්ජසීරා රූපවාහිණියේ හෙඩ් ටු හෙඩ් වැඩසටහනේදී මතුකළ කරුණුත් සමගය.