තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ මාධ්‍යවේදී රාහුල් සමන්ත හෙට්ටිආරච්චි මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලා සිටි තොරතුරු නියමිත කාලරාමුව තුළ ලබා නොදීම හේතුවෙන්, 2025 මැයි 28 දින තොරතුරු කොමිසමේ පෙනී සිටින ලෙස දක්වමින් ජනාධිපති කාර්යාලය වෙත නොතීසි නිකුත් කර ඇත.
මහජන මුදලින් වැටුප් ලබන ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ තොරතුරු සහ ඔවුන්ට ලබාදෙන වැටුප්, දීමනා සහ වාහන සම්බන්ධ තොරතුරු ලබා දෙන ලෙස කළ ඉල්ලීමකට ප්‍රතිචාර නොදැක්වීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති අභියාචනයකට අදාළව මෙම නොතීසිය නිකුත් කර තිබේ.
2025 ජනවාරි 29 දිනැති තොරතුරු අයදුම්පත මගින් මෙම තොරතුරු ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලා සිටි අතර, මාස දෙකකට අධික කාලයක් ගත වුවද එයට නිසි ප්‍රතිචාරයක් නොලැබීම නිසා අයදුම්කරු විසින් මෙම අභියාචනය ඉදිරිපත් කර ඇත.
ඉල්ලා සිටි තොරතුරු අතර 9 වන විධායක ජනාධිපතිවරයාගේ පුද්ගලික කාර්ය මණ්ඩලය ලෙස කොපමණ පුද්ගලයන් ප්‍රමාණයක් සේවයට බඳවාගෙන හෝ යොදවා තිබේද, ඔවුන් බඳවාගෙන ඇත්තේ කවර තනතුරු සඳහාද, ඔවුන්ගේ වැටුප් හා දීමනා වෙනුවෙන් මාසිකව කොපමණ මුදලක් වැය වේද, ඔවුන් වෙනුවෙන් කොපමණ වාහන ප්‍රමාණයක් ලබා දී තිබේද, සහ වාහන වල වර්ගය හා ඒවා පරිහරණය සඳහා ලබා දී තිබෙන්නේ කවුරුන් සඳහාද යනාදී තොරතුරු ඇතුළත් වේ.
එමෙන්ම, ජනාධිපති ධුර කාලයට පමණක් සීමා වන පත්වීම් ලබාදුන් නිලධාරීන් විසින් 2024 සැප්තැම්බර් 23 දින සිට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත අමාත්‍යාංශ මොනවාද යන්න හා ඒ ඒ ආයතන හා අමාත්‍යාංශය සඳහා ලබාදුන් වාහන වල අංක සහ වාහන වර්ගය යනාදී තොරතුරුද එම ඉල්ලීමට ඇතුළත් වේ.
2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ විධාන අනුව, යම් පොදු අධිකාරියක් වෙත පුරවැසියෙකු විසින් තොරතුරු ඉල්ලීම් පතක් යොමු කළ විට එම අයදුම්පත ලැබුණු බව දැන්විය යුතුය. ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලය මගින් 2025 ජනවාරි 30 දිනැතිව ඒ බව දන්වා ඇත. නමුත් පනතේ විධාන අනුව වැඩ කරන දින 14 ක් තුළ තොරතුරු ලබා දිය යුතු අතර, එසේ නොහැකි නම් ඒ සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලූම්කරු දැනුවත් කළ යුතුය. නිසි පරිදි තොරතුරු පනතේ ව්‍යස්ථාපිත නියමයන් අනුගමනය නොකළ හෙයින් මේ සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ නම් කළ නිලධාරියා වෙත අභියාචනයක් ඉදිරිපත් කර ඇත.
මීට පෙර බලයේ සිටි ජනාධිපතිවරුන්ගේ පුද්ගලික කාර්ය මණ්ඩල තොරතුරු තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ලබාගෙන ප්‍රකාශයට පත් කර ඇති පසුබිමක, මෙම තොරතුරු ලබාදීමේ කිසිදු නෛතික බාධාවක් ජනාධිපති ලේකම් කාර්යාලයට නොමැති බව පෙනී යයි.