Thursday, May 15, 2025
spot_imgspot_imgspot_img

Top 5 This Week

spot_img

Related News

මේසේ යට රනිල් ද? සජිත් ද? : දිනන දකුණට එරෙහි විවේචනවලට මෙන්න ප්‍රතිචාරයක් ඇවිත්!

‘දිනන දකුණ – දක්ෂිණාංශික දේශපාලනය ප්‍රතිස්ථාපනය කිරීමේ සාමූහිකය’’ විසින් පසුගියදා පැවැත්වූ මාධ්‍ය හමුවෙන් පසු එම කණ්ඩායම පිළිබඳව සමාජ අවධානයක් ඇතිව තිබේ.

අප විසින් එම මාධ්‍ය හමුව පිළිබඳව සිදු කල වාර්තාව සඳහා ද විවිධ ප්‍රතිචාර ලැබී තිබිණ.

මෙම ප්‍රතිචාර පිළිබඳව එම සංවිධානය විසින් අප වෙත යොමු කර ඇති සටහන පහතින් පල කරමු. එම අදහස් එම සංවිධානයේ අදහස් මිස අප වෙබ් අඩවියේ අදහස් නොවන බව කරුණාවෙන් සලකන්න.

“දිනන දකුණට අවලාද කියන්නන්ගේ අවධානයට!

අනුරට බෑ කියා ‘දිනන දකුණ’ සාමුහිකය විසින් අදහසක් ඉදිරිපත් කළ කල, මාලිමාවට චන්දය දුන් බහුතරය කලබල වී ඇතැමෙක් කුපිත වී ඇති බව පෙනේ.

පළමුව කිව යුත්තේ මෙම සාමුහිකය අනුරට බැරි යයි කියන්නේ, අනුර ජනාධිපතිවරයා දැනට අනුගමනය කරමින් සිටින දේශපාලන-ආර්ථික මූලෝපාය තුළින් 2028 වන විට මුහුණ දීමට නියමිත ලාංකික රාජ්‍යයේ අභියෝගය ජයගත නොහැකි බවට අනතුරු ඇඟවීමටය.

ඒ සඳහා වූ හේතු සාධක ණය ආර්ථිකය ඉදිරියේ පවතින දුෂ්ට අභියෝග යන ශීර්ෂය යටතේ ඉදිරිපත් කරන ලද කරුණු මඟින් අප විස්තරාත්මකව හෙළි කොට තිබේ.

අනුර ජනාධිපතිතුමාට එම අභියෝගය ජයගන්නට නොහැකි වුවහොත් කඩා වැටෙන්නේ මුළු රටම මිස අනුර ජනාධිපතිට විවේචන ඉදිරිපත් කරන කණ්ඩායම් පමණක් නොවේ.

කවදත් හද පෙන්නූ විට පෙන්නූ ඇඟිල්ලට සාප කරන්නවුන් බහුලය.

අප කියන කරුණු මත රටේ අභියෝගය පිළිබඳව සංවාදයක් ඇරඹීම කාලෝචිත වී තිබේ.

එසේ කථිකාවක් අරඹනු වෙනුවට කරුණු කාරණා මත රටේ අනාගත අර්බුදය මතු කරන අපගේ අඩුපාඩු සෙවීමට යෑම බුද්ධි ගෝචර නොවන බව කිව යුතුව තිබේ.

අපට එරෙහිව අකුරු කොටන සහෘදයන් අවලාදයන් ලෙස කියන්නේ දිනන දකුණ නියෝජනය කරමින් ඉදිරිපත්වී සිටින සාමාජිකයන්:

  1. පැරණි UNP කාරයෝ කණ්ඩායමක් බවය,
  2. සීයාගේ අවතාරයක් වන බවය,
  3. පැරණි හොරකම් වලින් ප්‍රයෝජනය ගත් අය මෙන්ම ඒවා ආරක්ෂා කළ කණ්ඩායමක් බවය,
  4. ජනතාව නැවතත් අපි වැනි තක්කඩි හා අවස්ථාවාදීන්ට බලය දෙන්නේ නැති බවය,
  5. අපි ජනතාවගෙන් ප්‍රතික්ෂේප වුණු කණ්ඩායමක් වන බවය,
  6. අප මෙතෙක් කළේ ණය අරගෙන හොරා කෑමට උදව් කළ එක බවය,
  7. අප සියල්ලන්ම දේශපාලනිකව නන්නත්තාර වූ යාචකයෝ කණ්ඩායමක් බව,
  8. පැරණි අයගේ (දේශපාලකයන්ගේ) හොල්මන් හා අවතාර වන බවය,
  9. රට වැට්ටුවේ මේ කණ්ඩායමම බවය.

මේ සියලු විවේචන අපට එරෙහිව දමා ගැසීමට එම සහෘදයන්ට ඇති අයිතිය අපි පිළිගන්නෙමු.

එසේම රටේ ජනතාවගේ බහුතර කැමැත්තෙන් අනුර ජනාධිපති ප්‍රමුඛ මාලිමා රජය පිහිටුවා ඇති බවත් පිළිගන්නෙමු.

එසේම පිට පිට චන්ද තුනකදී එජාපය හා සමගි බලවේගය ප්‍රමුඛ විපක්ෂය මෙරට ජනතාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බවද පිළිගන්නෙමු.

නමුත් අතීතයේදී කෙසේ වුවද වර්තමානය තුළදී අප දරන දකුණ පිළිබඳ මතය නියෝජනය කරන්නේ එජාපය හෝ සජබය නියෝජනය කරමින් නොවන බව මෙහිලා සඳහන් කළ යුතුව තිබේ.

එසේම අපගේ අතීත දේශපාලන පූර්වජයන් පිළිබඳව ඉදිරිපත් කරන විවේචනයන් තුළ පවතින ඇතැම් තර්කයන් පිළිබඳව අපද සංවේදීය.

මෙම සාමුහිකයට සම්බන්ධ බහුතරය එජාප හා/හෝ සජබයට සම්බන්ධ පිරිස් බව සඟවන්නට තරම් වූ දෙයක් නොවේ. (නමුත් ඒ පක්ෂ දෙකටම සම්බන්ධ නැති අයද අප අතර සිටින බව කිව යුතුව තිබේ)

නමුත් අපි සියල්ලන්ම දක්ෂිණාංශික දේශපාලනය පිළිබඳව අලුතින් සිතන, රටේ අනාගතය පිළිබඳව නිර්මාණාත්මකව සිතන කණ්ඩායමක් බව ඒ සමඟම කිව යුතුව තිබේ.

නමුත් මෙම සාමුහිකය තුළ සිටින බහුතරය එජාපයේ හෝ සජබයේ සාමාජිකයන් නොවෙති.

එසේම අප විසින් අතීතයේ සම්බන්ධව සිටි දේශපාලන ප්‍රවාහයන් තුළ රටේ ප්‍රගතියට මෙන්ම අගතියටද වගකිව යුතු පිරිස් සිටි බව අප පිළිගන්නා කරුණකි.

ඒ අතරින් අපට අගතිය ගෙන එනු ලැබූ අපගේ අතීත දේශපාලනය පිළිබඳව අවංක ස්වයං විවේචනයක් අපට පවතී. (එවැනි ස්වයං විවේචනයක් නුදුරේම අප විසින් එළි දක්වනු ඇත.)

අපගේ අනාගත දේශපාලනය පිළිබඳව සිතමින් සිටින්නේ එකී ස්වයං විවේචනයන් මත පිහිටමිනි.

අප අතරින් දේශපාලනයට සම්බන්ධ බහුතරයක අතීත ක්‍රියාකාරකම් පෙන්වන්නේ එකී පසුගාමී දේශපාලන ක්‍රියාකාරකම් පිළිබඳව අප දැක්වූ ප්‍රතිචාරයන් අන්ධ භක්තිය මත පිහිටා සිදු නොවූ බවය.

අප දැරූ විවේචනයන් ඉතිහාසය තුළ සටහන්ව පවතී.

දූෂණයට එරෙහි අද හඬ නගන බොහෝ දෙනාට සිහිපත් කළ යුතු කරුණු ද අපමණය.

අප දූෂණයට එරෙහිව සමාජය තුළ ප්‍රභල හඬක් නැංවූයේ 2010 ඈත අතීතයේදී දූෂණ විමසුම නමැති සංවිධානය බිහි කරමිනි.

2015 දී සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරය බිහි කරමින් රාජපක්ෂ පාලනය පෙරලා දැමීමට කටයුතු කළේ අප විසිනි.

2010 දී ද 2015 දී ද අනුර කුමාර සහෝදරයා සිටියේ අපට සමාන්තරවය.

2025 දී අනුර කුමාර සහෝදරයාට අප බහුතරයේ ආශිර්වාදය හිමි වූයේ මෙරටේ කිදා බැස ඇති දූෂිත පාලනය බිඳ දමනු ඇතැයි යන විශ්වාසය පෙරදැරි කොට ගෙනය.

නමුත් ඊට සමාන්තරව එදා අපි බහුතරයක් රනිල්ට සහයෝගය දුන්නේ ආර්ථිකයේ ඉදිරි යහපැවැත්ම පිළිබඳව සිතමිනි.

එදා අප කීවේ රට ඉදිරියේ ද්විත්ව අභියෝගයක් පවතින බවය.

අනුර ජනාධිපති වරයා ඔහුට ලැබුණු ජන බලය වසර පහක්ම බල පැවැත්විය යුතු යයි අප තවමත් විශ්වාස කරන්නෙමු.

අනුර IMF රාමුව තුළට අනුගත වී සිය පාලනය ගෙන යාම අපට ප්‍රසාදයකි.

නමුත් ඒ තුළ ධනය උත්පාදනයට, රාජ්‍ය කළමනාකරණයට නිසි තැනක් නොලැබීම අපගේ අප්‍රසාදයට හේතුවන කරුණු වී තිබේ.

එයට ප්‍රධානම හේතුව අනුරට සමාජවාදී චින්තනයෙන් ඇති කරන බලපෑම බව අපගේ විශ්වාසයයි.

වහ වහා ධනය උත්පාදනයට පෙලඹෙන්නට අනුරට බල කළ යුත්තේ ඒ නිසාය.

ධනය උත්පාදනය කරන කල දූෂණයට ඇබ ගැසිය යුතුය.

අපගේ පූර්වජයන් ධනය උත්පාදනයට නිසි ලෙස තැනක් නොදුන්නා සේම දූෂණයට අත දුන්නේය.

දූෂණය තුරන් කිරීම අනුරගේ ස්වාභාවික පාලන දක්ෂතාවක් වනු ඇතැයි අප විශ්වාස කළේ ඒ නිසාමය.

නමුත් අපගේ එම සිතුවිල්ල මේ වන විට මිරිඟුවක් වී ඇති බව දැන් දැන් වැටහෙන සත්‍යකි.

දූෂණය ව්‍යුහාත්මකව පරාජය කළ යුත්තක් මිස සරල ගති පැවැත්මක් තුළින් හෝ රාජ්‍යයේ වියදම් අඩු කිරීම නිසා පමණක් ඉටුකර ගත නොහැකි ඉලක්කයකි.

අපි අනුරට බෑ කියන්නේ රට ගැන මිස බලය ගැන නොසිතාය.

අනුර ගැන විශ්වාසය තබා රටේ අනාගතය ගැන සිතන්නවුන්ට අපගේ විවේචනය කර්කෂ වන බව නිසැකය.

අප උත්සාහ දරන්නේ පක්ෂයේ බලයට පෙර රටේ අනාගතය ගැන සිතන්නට අනුර ජනාධිපතිට බල කරන්නටය.

ඒ නිසා කිව යුත්තේ අප දේශපාලනිකව නන්නත්තාර වී නැති බවය.

අපගේ හඬට සවන් දීම සඳහා මෙරට තුළ විශාල පිරිසක් සැදී පැහැදී සිටින බවද කිව යුතුය.

ඡන්දයකදී වරෙක පරාජය වීම ද තවත් වරෙක ජයග්‍රහණය වීම ද නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයකි.

පැරදුන හඬ නන්නත්තාර වීමක් ලෙස සිතීම මෝඩකමකි.

අපි කාගේවත් හොල්මන් හෝ පිල්ලියක් නොවේ.

අපි බලය වෙනුවට රට ගැන එදත් අදත් සිතූ පුද්ගලයන්ය.

ඒ නිසා කියන්නේ බල්ලන් බිරුවත් තවලම ඉදිරියටම ඇදෙන බවය.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles