මැයි 10 වන දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් කොටහේන මියගිය දරුවාගේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ හමුවක් පැවැත්විණි. මෙම හමුව සඳහා සිද්ධිය විමර්ශනය කරන පොලිස් කණ්ඩායම සහ දරුවාගේ දෙමාපියන් සහභාගී විය.
පාසල තුළ හා උපකාරක පන්තිය තුළ සිදු වූ සිද්ධීන් පිළිබඳව අපක්ෂපාතීව, නිවැරදිව සහ කඩිනමින් විමර්ශන සිදු කරන ලෙස අග්‍රාමාත්‍යවරිය විසින් පොලිස් විමර්ශන කණ්ඩායමට උපදෙස් ලබා දුන්නාය. සිද්ධිය දැනුම්දුන් මොහොතේ සිදු කළ ක්‍රියාවලිය කාර්යක්ෂමව සිදුවූවා ද යන්න පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය මගින් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදුකරමින් පවතින බවද ඇය මෙහිදී දැනුම් දුන්නාය.
ළමා හිංසන සිද්ධි සම්බන්ධයෙන් මැදිහත් විය යුතු රාජ්‍ය ආයතන වල සම්බන්ධීකරණය ඉතාම දුර්වල මට්ටමක පවතින බවත්, හිංසනයට ලක් වූ දරුවා පිළිබඳව යහපත් අයුරින් ප්‍රතිචාර දැක්වීමක් සිදු නොකරන බවත් නිරීක්ෂණය වූ නිසා එම යාන්ත්‍රණය විධිමත් කිරීම සඳහා ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අස්විනි ප්‍රනාන්දු මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රීපුද්ගල කමිටුවක් අග්‍රාමාත්‍යවරිය විසින් පත්කරන ලදී.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය සහ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජයපාල මහතා ද සහභාගී වූහ.
කෙසේ නමුත් මෙම සාකච්ඡාවක පසු පසින් තිබූ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පින්තූරය බොඳ කිරීමට කටයුතු කර තිබීම සමාජ ජාලාවල සංවාදයට හේතු වී ඇත. මාධ්‍යන්හි විකාශනය වූ දර්ශනයන්හි පැහැදිලිවම මහින්ද රාජපක්ෂ මහතාගේ පින්තූරය දක්නට ලැබෙන අතර අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද පින්තූරවල අදාළ පින්තූරය බොඳ කර ඇත.
