රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට එරෙහි අල්ලස් කොමිසමේ විමර්ශනය, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය වෙත කළ ප්‍රකාශයක් හේතුවෙන් නතර වී ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.
ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලයේ දී, චාමර සම්පත් දසනායක මහතා, පළාත් සභාවේ රාජ්‍ය බැංකුවක තිබූ ස්ථාවර තැන්පතු කිහිපයක මුදල් කල් පිරීමට පෙර ලබාගෙන බවත්, එමඟින් රජයට මිලියන 17.3 ක අලාභයක් සිදු කළ බවත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව චෝදනා කර තිබේ. මෙම චෝදනා මත ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණය මඟින් රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලදී.
නමුත් මෙම සිදුවීම තමන් අග්‍රාමාත්‍ය ධුරය දරන කාලයේ සිදු වූවක් බවත්, චාමර සම්පත් දසනායක මහතා අදාළ මුදල් ලබා ගත්තේ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුමැතිය ඇතිව භාණ්ඩාගාර ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයකට අනුව බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත.
පළාත් සභා අරමුදල් ස්ථාවර තැන්පතු ගිණුම්වල තැන්පත් කළ නොහැකි බවත්, රජයේ අරමුදල් සහ අනෙකුත් වෙන් කරන ලද අරමුදල් දෙකම එකම වසර තුළ වියදම් කළ යුතු බවත් එම චක්‍රලේඛයේ සඳහන් වී තිබිණ.
එසේ නොකළහොත් එම අරමුදල් මුදල් අමාත්‍යාංශයට හෝ අදාළ පළාත් සභා අමාත්‍යාංශයට ආපසු යැවිය යුතු බව ද එම චක්‍රලේඛයේ සඳහන් වූ බව වික්‍රමසිංහ මහතා සිය ප්‍රකාශයේ දී සඳහන් කර ඇත.
මේ පිළිබඳව පසුගිය 17 වැනි දින ප්‍රකාශයක් ලබා දෙන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබුණි. නමුත් එදින ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණීමට නොහැකි බව වික්‍රමසිංහ මහතා දන්වා තිබේ.
කෙසේ වෙතත්, ඒ සඳහා වෙනත් දිනයක් ලබා දීමට අල්ලස් කොමිසම නියමිතය.