Saturday, April 19, 2025
spot_imgspot_imgspot_img

Top 5 This Week

spot_img

Related News

ජනපති බේරන්න ගොස් එකක් කඩතොළු වෙනුවට දෙකක් කඩතොළු තනා දුන් මැතිවරණ කොමිසම!

මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යැවූ බවට “මව්බිම” පුවත්පතේ අද (17) පළ වූ ප්‍රධාන පුවත, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් මව්බිම පුවත්පත දැඩි අප්‍රසාදය පළ කර ඇත.

“නොදිනන සභාවලට ප්‍රතිපාදන නොදෙන බවට ජනපති කළ ප්‍රකාශය ගැන පැමිණිලි – මැතිවරණ නීති කඩන කතා එපා: මැ.කො ජනපතිට ලියයි” යන මැයෙන් පළ වූ මෙම පුවත, මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග මත පදනම් වූවකි. එහෙත් පැය විසිහතරක් ඇතුළත කොමිසම විසින් ගනු ලැබූ මෙම පරස්පර විරෝධී ස්ථාවර දෙක සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරමින් මව්බිම පුවත්පත අද දින මැතිවරණ කොමිසමට හා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිපි ද යොමු කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බුත්තල හා තිස්සමහාරාම යන ප්‍රදේශවල පැවති මැතිවරණ රැස්වීම්වලදී කළ ප්‍රකාශ මගින්, පළාත් පාලන ආයතන මැතිවරණ ආඥා පනතේ අයුතු බලපෑම් හා අල්ලස් යන ව්‍යවස්ථා උල්ලංඝනය කර ඇති බවට සී.එම්.ඊ.වී සංවිධානය සති දෙකකට පෙර කළ පැමිණිල්ලක් මුල් කර ගනිමින් මැතිවරණ කොමිසම මෙම පරස්පර විරෝධී ස්ථාවර දෙක දරයි.

ජාතික ජන බලවේගය නොවන වෙනත් කණ්ඩායමක් පළාත් පාලන ආයතන ජයග්‍රහණය කළහොත් ඔවුන්ට අරමුදල් වෙන් කිරීම අපහසු වනු ඇති බවට ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවලදී කළ ප්‍රකාශවලට එරෙහිව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පසුගිය දෙවන දා මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් කර තිබේ.

“2025 පළාත් පාලන ආයතන මැතිවරණ ව්‍යාපාරය අතරතුර විධායක ජනාධිපතිතුමා විසින් මැතිවරණ නීතිය උල්ලංඝණය කිරීම පිළිබඳ පැමිණිල්ල” යන මැයෙන් ඉදිරිපත් කළ මෙම පැමිණිල්ලේ සඳහන් වන්නේ, ජනාධිපතිවරයාගේ ප්‍රකාශ ද, පළාත් පාලන ආයතන මැතිවරණ ආඥා පනතේ 82(ඇ) සහ 82(ඈ) යන වගන්ති (අයුතු බලපෑම් සහ අල්ලස්) බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බවට තම සංවිධානයේ විශ්ලේෂණාත්මක හැඟීම බවයි.

තිස්සමහාරාම හා බුත්තල ප්‍රාදේශීය සභාවලට තම පක්ෂයේ නියෝජිතයින් තෝරා නොගතහොත් එම ප්‍රදේශවල මූල්‍ය අවශ්‍යතා ඉටු කිරීම ප්‍රමාද කරන බවට හෝ ප්‍රමාද විය හැකි බවට ජනාධිපතිවරයාට ඡන්දදායකයින්ට කිසිසේත් තර්ජනය කළ නොහැකි යැයි සී.එම්.ඊ.වී ආයතනය තම පැමිණිල්ලේ දක්වා තිබේ.

ජාතික ජන බලවේගයේ නියෝජිතයෙකුගේ ප්‍රධානත්වයෙන් ඉදිරිපත් වන යෝජනාවලට ප්‍රශ්න නොකර අරමුදල් ලබා දෙන බවට කර ඇති ප්‍රකාශය සමග සැසඳීමේ දී, ජනාධිපතිවරයාගේ ප්‍රකාශය තර්ජනයක් හා පොරොන්දුවක් යන දෙකම ඒකාබද්ධ කළ එකක් බව සී.එම්.ඊ.වී ආයතනය පවසයි.

ජනාධිපතිවරයා රට පුරා මෙම පණිවිඩය නැවත නැවතත් ප්‍රචාරය කිරීම ගැටලු සහගත බව පවසන සංවිධානය, පක්ෂ දේශපාලනයෙන් ඔබ්බට යනු ඇතැයි අපේක්ෂා කරන වත්මන් ජනාධිපතිවරයා විසින් මෙවැනි ප්‍රකාශ කිරීම, ජාතික ජන බලවේගයට ඡන්දය දීමට අකමැති ඡන්දදායකයින්ට තර්ජනයක් හා අල්ලසක් වනු ඇතැයි අවධාරණය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles