Friday, April 11, 2025
spot_imgspot_imgspot_img

Top 5 This Week

spot_img

Related News

පියුමිට සහනයක්: පියුමිගේ බිස්නස් එකට ගහන්න ගියාට තහංචියක්!

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ නීති විරෝධී වත්කම් විමර්ශන ඒකකය පියුමි හංසමාලි නමැති නිරූපණ ශිල්පිනිය සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන පවත්වා එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසයි.

මෙම නඩුව අද (21) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඉදිරියේ කැඳවනු ලැබුවේ පියුමි හංසමාලිගේ නීතිඥවරයා විසින් ඉදිරිපත් කරන ලද මෝසමකට අනුවය. නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයේ ස්ථානාධිපති සම්පත් රාජකරුණා මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

පියුමි හංසමාලි වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සුමුදු හේවගේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, තම සේවාදායිකාව රූපලාවන්‍ය ආලේපන අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන බවත්, ඒ යටතේ මේ වන විට ගනුදෙනුකරුවන් 34,506කට අධික පිරිසකට කුරියර් මාර්ගයෙන් එම ආලේපන අලෙවි කර තිබෙන බවත් සඳහන් කළේය. තම සේවාදායිකාව අඩු මිලට අදාළ ආලේපන ලබාගෙන රුපියල් 30,000 – 40,000 වැනි ඉහළ මිලකට අලෙවි කරන බවට සියලු මාධ්‍ය වල පළ වූ ප්‍රවෘත්ති සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් මේ තුළින් සිය සේවාදායිකාවගේ ව්‍යාපාරයට දැඩි අගතියක් සිදු වන බවත් පෙන්වා දුන් එම නීතිඥවරයා, තම සේවාදායිකාවගෙන් ආලේපන මිලදී ගත් ගනුදෙනුකරුවන් කැඳවා ප්‍රශ්න කිරීමට පොලීසිය පියවර ගෙන ඇති බවත්, මේ හේතුවෙන් ගනුදෙනුකරුවන් බිය වී මෙම ආලේපන මිලදී ගැනීමෙන් ඈත් වී තම සේවාදායිකාවගේ ව්‍යාපාරයට බරපතළ හානියක් සිදුවෙමින් පවතින බවත් පැවසීය.

නිරූපණ ශිල්පිණියක වශයෙන් කටයුතු කරන තම සේවාදායිකාව ව්‍යාපාරිකාවක් වශයෙන් ඉහළ තලයකට දියුණු වීමේ ඇති වරද කුමක්දැයි ප්‍රශ්න කළ නීතිඥවරයා, තම සේවාදායිකාවගේ ව්‍යාපාරයට අගතියක් සිදුවන ආකාරයෙන් විමර්ශන මෙහෙයවීම වැළැක්වීමට අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම චෝදනා ප්‍රතික්ෂේප කළ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණා මහතා, පියුමි හංසමාලි නමැත්තිය රුපියල් 30,000කට අධික පිරිසකට තමන්ගේ ආලේපන කුරියර් මාර්ගයෙන් විකුණා තිබෙන බව සඳහන් කොට ඇති බවත්, 2023 වසරේ නොවැම්බර් මස 22 වන දින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගත් ප්‍රබල කොකේන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා මෙම තැනැත්තිය අතර සම්බන්ධයක් පැවති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් කියා සිටියේය.

පියුමි හංසමාලි නමැත්තියට අයත් සුඛෝපභෝගී මෝටර් රථය මේ වන විටත් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ නිවසේ තිබෙන බව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පෙන්වා දුන්නේය. එම නිසා පියුමි හංසමාලි විසින් කූරියර් මාර්ගයෙන් අලෙවි කර තිබුණේ සත්‍ය වශයෙන්ම ආලේපන ද එසේත් නැත්නම් කිසියම් නීති විරෝධී ද්‍රව්‍යයක් ද යන්න අනාවරණය කිරීම සඳහා පරීක්ෂණ පැවැත්වීමට සිදු වී ඇති බවත්, ඒ යටතේ අවශ්‍ය පුද්ගලයින්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට සිදු වී ඇති බවත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කියා සිටියේය.

මෙහි අධිකරණයේදී අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රකාශ කර සිටියේ, පොලීසිය විසින් පුද්ගලයින්ගෙන් විමර්ශන සඳහා ප්‍රකාශ සටහන් කර ගැනීමේ බලය තමා පිළිගන්නා බවයි.
නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකය විසින් මෙම කාන්තාව සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනු ලබන්නේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ බැවින්, ඒ අනුව ඔවුන් විමර්ශන සිදු කිරීම සහතික කරන ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. තවද, මෙම කාන්තාවගේ ව්‍යාපාරයට හානියක් නොවන බවට වග බලා ගන්නා ලෙසත් අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයට දැනුම් දුන්නේය.

අවසාන වශයෙන්, මෙම සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා විසින් පොලීසියට නියම කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Popular Articles